හින්දුස්ථානි තාල පද්ධතිය
හින්දුස්ථානි හෙවත් උත්තර භාරතීය තාල පද්ධතිය මාත්‍රා, විභාග, ආවර්ත, ලය, තාලි-ඛාලි හා ඨේකා යන අංග ආධාරයෙන් නිර්මාණය වී ඇත.
මාත්‍රා
මාත්‍රා යනු තාලයේ මැනීම් කිරීම සඳහා අතීතයේ සිට භාවිත කරන්නා වූ ඒකකයකි. මාත්‍රාවේ ප්‍රමාණය පිළිබඳ ව වියතුන් විවිධ මත පළ කර ඇත. භරතමුනි පවසන්නේ නිමේෂ පහක් හෙවත් ඇසි පිය හෙලන කාල පහක් මාත්‍රාවක කාලයක් යැ යි ගත යුතු බව ය ( Natyasastra,xxxi.3). මේ සම්බන්ධ ව සංගීතරත්නාකරයෙහි ඉදිරිපත් කර ඇති අදහස නම් ලඝු අක්‍ෂර පහක් උච්චාරණයට ගතවන කාලය මාත්‍රාවක් සඳහා ගත යුතු බව ය (The Sangeetarathnakara, v.16). ශාර්ංගදේව සඳහන් කරන ලඝු අක්‍ෂර පහක කාලය පිළිබඳ ව විග්‍රහ කරන කල්ලිනාථ, ක-ච-ට-ත-ප යන ලඝු අක්‍ෂර පහ එක පෙළට උච්චාරණය කිරීමට ගත වන අවම කාලය මාත්‍රාවක කාලයට සමාන බව පවසයි (The Sangeetarathnakara-vol III, Kalanidhi, p.8)
කෙසේ වෙතත් මාත්‍රාවක ප්‍රමාණය ස්ථිර ව ම නියම කළ හැකි ඉතා නිරවද්‍ය ගණිතමය ඒකකයක් ලෙස සැලකිය නොහැකි බව ඉහත අර්ථ විග්‍රහ අනුව පැහැදිලි වන කරුණකි. එහි යම් විචල්‍ය ස්වභාවයක් ඇත. මාත්‍රාව යනු අභිමත ඒකකයක් විනා සම්ම්ත ඒකකයක් නො වෙයි. එය පුද්ගලානුබද්ධ ව වෙනස් වන්නා වූ කාල සීමාවකි. කෙසේ වෙතත් මෙය පුද්ගලානුබද්ධ ව වෙනස් වුව ද එම වෙනස විශාල ප්‍රමාණයක් විය නොහැකි ය. මාත්‍රාවක ප්‍රමාණය මනුෂ්‍ය හද ගැස්ම හා සම්බන්ධ ව උත්පාදනය වන කාලාන්තරයකි. මෙහි ප්‍රමාණය ස්වල්ප වශයෙන් විචල්‍ය වන තත්පරයක කාල සීමාවකට සම කළ හැකි ය.
විභාග
තාලයක සම්පූර්ණ මාත්‍රා සංඛ්‍යාව කොටස් කොට ඇත. මෙසේ කොටස් කෙරෙන මාත්‍රා කැටියක් විභාග නම් වෙයි. විභාගයක් පහළ වනුයේ කිසියම් මාත්‍රා සංඛ්‍යාවක් ගොනු වීමෙනි. විභාගයක අඩංගු විය හැකි අවම මාත්‍රා සංඛ්‍යාව එකක් වන අතර උපරිම මාත්‍රා සංඛ්‍යාවේ සීමාවක් නැත.
ආවර්ත
‘වටේ කරකැවීම’ යන අරුත් දෙන ආවර්ත යන්න √වෘත මූලය හා සම්බන ්ධ වීමෙන් නිර්මාණය වෙයි. තාලයක මුල් මාත්‍රාවේ සිට අවසාන මාත්‍රාව දක්වා ප්‍රමාණය එක් ආවර්තයකි.
ලය
ක්‍රියාවෙන් පසු ඇති වන විරාමය ලය වෙයි. ලය රහිත ව තාලයක ් පැවතිය නො හැකි ය
තාලී-ඛාලී
දෑත් භාවිත කරමින් තාල ප්‍රදර්ශනය කිරීමේ දී දෑත් සංයෝග හා වියෝග වන ස්ථාන පිළිවෙලින් තාලී හා ඛාලී ලෙස හැඳින්වෙයි. ප්‍රථම තාලී සම් ලෙස හැඳින්වෙයි. තාලයක චක්‍රීය ස්වභාවය මතු කරගැනීම පිණිස ඛාලී භාවිත වෙයි.
ඨේකා
යම් තාලයක් තබ්ලාවෙන් හෝ පඛාවජයෙන් නිරූපණය කිරීම පිණිස අවනදධ අක්‍ෂර භාවිතයෙන් නිර්මාණය වන පදය ඨේකා වෙයි. ඨේකාවක් නොමැති ව තබ්ලාවෙන් හෝ පඛාවජයෙන් තාලයක් නිරූපණය කළ නො හැකි ය. මේ වූ කලී තාලයක සෑම මාත්‍රාවක් හා සම්බන්ධ ව පවත්නා, ඒ තාලයේ ගතියට ම විශේෂිත වූ පදයකි. ඨේකාවෙන් ඒ තාලයට අයත් මාත්‍රාවන් ගේ නිශ්චිත සීමාව ලැබේ.
■ උත්තර භාරතීය තාල පද්ධතියේ තාල ගොඩ නැඟීම යම් නිශ්චිත ගණිත ක්‍රමයකට අනුව සිදු නො වෙයි. තාල සැකසීමේ ස්ථාවර පදනමක් හා සැලැස්මක් හින්දුස්ථානි තාල පද්ධතියෙහි දක්නට නොමැති නිසා මෙහි තාල අසීමිත ව නිර්මාණය කළ හැකි ය.
■ එක ම මාත්‍රා සංඛ්‍යාවක ් තිබුණ ද විභාග සහ තාලස්ථානවල භින්නතා හේතු කොටගෙන විවිධ තාල නිර්මාණය විය හැකි සේ ම, මාත්‍රා, විභාග හා තාලස්ථාන එක ම වී ඨේකාව පමණක් වෙනස්වීම නිසා ද විවිධ තාල නිර්මාණය විය හැකි ය.
■ තාලී ඛාලී සැම විට ම විභාගයක ආරම්භක මාත්‍රාව මත යෙදීම සම්මතය යි.
■ යම් තාලයක තාලී දෙකක් හෝ කීපයක් එක ලඟ යෙදිය හැකි වුවත් ඛාලී දෙකක් හෝ කීපයක් එක ලඟ නො යෙදේ.
■ ඛාලී තාලයකට අත්‍යාවශ්‍ය ම අංගයක් නො වේ.
■ උත්තර භාරතීය තාලයන්හි ස්ථිර ක්‍රමයකට අනුව තාල නාම යොදා නොමැත. තාල් තුනක් පවතින හෙයින් එය ත්‍රීතාල් ලෙස හැඳින්වුව ද, තාල් හතරක් පවතින හෙයින් එය චෞතාල් ලෙස හැඳින්වුව ද, රූපක්, ඣප්තාල් වැනි තාල ඒවායේ නාමයන් ගෙන් හැඟවෙන අර්ථය හා කොතරම් බද්ධ වේ දැ යි කිව නො හැකි ය. එසේ ම ගණේෂ්, විෂ්ණු, ලක්‍ෂමි, බ්‍රහ්ම ආදී හින්දු දෙවිවරුන් ගේ නාම උත්තර භාරතීය තාල නාමකරණයෙහි යොදා-තිබීමෙන් ද මෙම තාල පද්ධතියේ තාලයන් නම් කිරීමෙහි ස්ථිර සැලැස්මක් නොමැති බව මොනවට විදහාපායි.