ක්‍රියා, මාත්‍රා, කලා, මාර්ග

 


ක්‍රියා

ක්‍රියා යන පාරිභාෂික පදය යම් කාල අන්තරයක් කුඩා කොටස්වලට බෙදීම පිණිස දෑත් භාවිත කරමින් සිදු කරනු ලබන හස්ත අභින ලෙස පහදාදිය හැකි ය. තාල ශාස්ත්‍රයෙහි සශබ්ද ක්‍රියා සහ නිඃශබ්ද ක්‍රියා යනුවෙන් ප්‍රධාන ක්‍රියා දෙකක් සඳහන් වෙයි. සශබ්ද යන්නෙන් ශබ්දයක් සහිත හා නිඃශබ්ද යන්නෙන් ශබ්දයක් රහිත යන අරුත් දෙයි. පුරාණ භාරතීය තාල ශාස්ත්‍රයෙහි ක්‍රියා වෙනුවට කලා හා පාත යන වදන් දෙක ද භාවිත කොට ඇත. කලා-පාත යන යුගල පදය භාවිත කිරීමේ දී කලා නිඃශබ්ද ක්‍රියාවේ කාල සීමාව සඳහාත්, පාත සශබ්ද ක්‍රියාවේ කාල සීමාව සඳහාත් යෙදෙයි.

ක්‍රියා සම්බන්ධ වැඩිදුර විග්‍රහයක් කරන ශාර්ංගදේව ලඝු ආදියේ මැනීම ක්‍රියා මගින් සිදු වන බව පවසයි. ක්‍රියාවේ සාමාන්‍ය කාලාන්තරය, එනම් කලා, ලඝු, ගුරු හා ප්ලූත වශයෙන් වූ කාල සීමා ත්‍රිත්වයක් පාදක කර-ගනිමින් විස්තර වෙයි. මෙම කාලාත්‍රය මාත්‍රා නම් වූ ඒකකය මත ස්ථාපනය වෙයි (The Sangeetarathnakara, v.17). මූලික වශයෙන් ලඝු එක් මාත්‍රාවක් ද, ගුරු මාත්‍රා දෙකක් ද, ප්ලූත මාත්‍රා තුනක් ද වන කාල ප්‍රමාණ ගැනෙයි. 

මාත්‍රා

මාත්‍රා යනු තාලයේ මැනීම් කිරීම සඳහා අතීතයේ සිට භාවිත කරන්නා වූ ඒකකයකි. මාත්‍රාවේ ප්‍රමාණය පිළිබඳ ව වියතුන් විවිධ මත පළ කර ඇත. භරතමුනි පවසන්නේ නිමේෂ පහක් හෙවත් ඇසි පිය හෙලන කාල පහක් මාත්‍රාවක කාලයක් යැ යි ගත යුතු බව ය (The Natyasastra,xxxi.3). මේ සම්බන්ධ ව සංගීතරත්නාකරයෙහි ඉදිරිපත් කර ඇති අදහස නම් ලඝු අක්‍ෂර පහක් උච්චාරණයට ගතවන කාලය මාත්‍රාවක් සඳහා ගත යුතු බව ය (The Sangeetarathnakara, v.16)ශාර්ංගදේව සඳහන් කරන ලඝු අක්‍ෂර පහක කාලය පිළිබඳ ව විග්‍රහ කරන කල්ලිනාථ, ක-ච-ට-ත-ප යන ලඝු අක්‍ෂර පහ එක පෙළට උච්චාරණය කිරීමට ගත වන අවම කාලය මාත්‍රාවක කාලයට සමාන බව පවසයි (The Sangeetarathnakara-vol III, Kalanidhi, p.8)  

 කෙසේ වෙතත් මාත්‍රාවක ප්‍රමාණය ස්ථිර ව ම නියම කළ හැකි ඉතා නිරවද්‍ය ගණිතමය ඒකකයක් ලෙස සැලකිය නොහැකි බව ඉහත අර්ථ විග්‍රහ අනුව පැහැදිලි වන කරුණකි. එහි යම් විචල්‍ය ස්වභාවයක් ඇත. මාත්‍රාව යනු අභිමත ඒකකයක් විනා සම්ම්ත ඒකකයක් නො වෙයි. එය පුද්ගලානුබද්ධ ව වෙනස් වන්නා වූ කාල සීමාවකි. කෙසේ වෙතත් මෙය පුද්ගලානුබද්ධ ව වෙනස් වුව ද එම වෙනස විශාල ප්‍රමාණයක් විය නොහැකි ය. මාත්‍රාවක ප්‍රමාණය මනුෂ්‍ය හද ගැස්ම හා සම්බන්ධ ව උත්පාදනය වන කාලාන්තරයකි. මෙහි ප්‍රමාණය ස්වල්ප වශයෙන් විචල්‍ය වන තත්පරයක කාල සීමාවකට සම කළ හැකි ය.

ඇසි පිය හෙළන කාලය යනු වර්තමාන ව්‍යවහාර ඒකක වලින් තත්පර 0.1 සිට 0.4 අතර කාල ප්‍රමාණයකි. මෙහි මධ්‍යන්‍ය අගය තත්පර 0.25 කි. එමනිසා නිමේෂ පහක කාලය යනි තත්පර 1.25 ක කාලයකි. 

සියලුම භාෂා වල කථනයේ මූලික ඛණ්ඩනය වන අක්ෂරවල සාමාන්‍ය කාලසීමාව ආසන්න වශයෙන් මිලි තත්පර 250 කි. එනම් ලඝු අක්ෂරයක් උච්ඡාරණයට ගත වන කාලය මිලි තත්පර 250 ක කාලයකි. එවිට ලඝු අක්ෂර පහක උච්ඡාරණ කාලය යනු තත්පර 1.25 ක කාලයකි.  

කලා

කලා යන්නෙහි සාමාන්‍ය අර්ථය සම්පූර්ණ ප්‍රමාණයෙන් කොටසක් යන්න ය. ක්‍රියාවේ කාල සීමාව හෙවත් ක්‍රියා දෙකක් අතර කාල අන්තරය කලා ලෙස මූලික ව අර්ථ දැක්විය හැකි ය. කලා යනු මිනුමකි. එය ලඝු, ගුරු හා ප්ලුත යන කාල ත්‍රය පදනම් ව ගොඩ නැගෙයි. ලඝු, ගුරු, හා ප්ලුත යනු මාත්‍රාව මත ස්ථාපනය වන කාල ත්‍රයකි (The Sangitaratnakara, v. 17 ab). මූලික වශයෙන් ලඝු එක් මාත්‍රාවක් ද, ගුරු මාත්‍රා දෙකක් ද, ප්ලූත මාත්‍රා තුනක් ද වන කාල ප්‍රමාණ වෙයි. කලා ලඝු, ගුරු හා ප්ලුත කාල ත්‍රය අනුව විචල්‍ය වන බැවින් ක්‍රියාවේ තත්‍ය කාල සීමාව (actual duration) ද ඊට සමගාමී ව විචල්‍ය වෙයි. කලා මගින් ක්‍රියාවේ මධ්‍යයන කාල අගය (avarage time value)  දැක්වෙයි.

ක්‍රියාවේ ප්‍රමාණය, එනම් කලා, මාත්‍රාව පදනම් වූ ලඝු, ගුරු හා ප්ලුත කාල ත්‍රය පදනම් ව ගොඩනැගෙන්නක් වන බැවින් එහි ප්‍රමාණාත්මක වෙනස්වීම ලඝු, ගුරු හා ප්ලුත යන කාල ත්‍රයේ ප්‍රමාණය මත රඳා-පවතියි. ක්‍රියාව යෙදෙන්නේ ලඝු අක්ෂරයක් සඳහා නම් කලාව එක් මාත්‍රාවකින් ද, ක්‍රියාව යෙදෙන්නේ ගුරු අක්ෂරයක් සඳහා නම් කලාව මාත්‍රා දෙකකින් ද, ක්‍රියාව යෙදෙන්නේ ප්ලුත අක්ෂරයක් සඳහා නම් කලාව මාත්‍රා තුනකින් ද යුක්ත වෙයි.

මාර්ග 

ක්‍රියාවේ කාලාන්තරය තීරණය කිරීමේ දී මාර්ග  නම් වූ වැදගත් සංකල්පයක් නාට්‍යශස්ත්‍රය, සංගීතරත්නාකරය වැනි ප්‍රාථමික මූලාශ්‍රයයන්හි දැක්වෙයි. ලඝු, ගුරු හා ප්ලූත යන්නෙහි ප්‍රමාණ පිළිවෙලින් එක් මාත්‍රාවක්, මාත්‍රා දෙකක් හා මාත්‍රා තුනක් ලෙස මූලික ව ගැනුණ ද සැබැවින් ම ලඝු, ගුරු හා ප්ලූත යන ත්‍රිත්වයෙහි කාල ප්‍රමාණ මාර්ග  සිද්ධාන්තය අනුව වෙනස් වෙයි.

මාර්ග  යන්නෙහි සාහිත්‍යමය අර්ථය මග යන්න ය. එය තාලයේ සම්පූර්ණ කාල ප්‍රමාණය ලෙස සැලකිය හැකි ය. සෑම ක්‍රියාවක ම කාල සීමාව තාලයේ සමස්ත කාල සීමාව හෙවත් මාර්ග  මත රදා පවතියි. තාලයේ සමස්ත කාල සීමාව දෙගුණයක් වූ කල්හි ක්‍රියාවේ කාලය ද දෙගුණයක් වෙයි. මේ අනුව මාර්ග  යනු ක්‍රියාවේ කාල සීමාව තිරණය කරනු ලබන්නක් ලෙස සැලකිය හැකි ය. ශාර්ංගදේව ධ්‍රැව, චිත්‍ර, වාර්තික, දක්ෂිණ වශයෙන් මාර්ග  හතරක් සඳහන් කරයි (The Sangeetarathnakara, v.10)  ධ්‍රැව කෙටි ම මාර්ගය යි. චිත්‍ර මාර් ගය ධ්‍රැව මාර්ගයේ දෙගුණය ද, වාර්තික මාර්ගය චිත්‍ර මාර්ගයේ දෙගුණය ද, දක්ෂිණ මාර්ගය වාර්තික මාර්ගයේ දෙගුණය ද වෙයි. ක්‍රියාහි සත්‍ය කාල සීමාව (actual duration) වෙනස් විය හැකි වුව ද, කලා මගින් එහි සාමාන්‍ය කාල සීමාව (average duration)  හඟවනු ලබයි. ක්‍රියාහි සත්‍ය කාල සීමාව හා සාමාන්‍ය කාලසීමාව සමාන වනුයේ ධ්‍රැව මාර්ගයේ දී පමණි.  

ශාර්ංගදේව මාර්ග හතරක් සඳහන් කළ ද, ශාර්ංගදේවට ප්‍රථම විසූ භරතමුනි චිත්‍ර, වෘත්ති, දක්ෂිණ වශයෙන් මාර්ග තුනක් පමණක් සඳහන් කරයි (The Natyasastra,xxxi.5).   ධ්‍රැව ඔහු මාර්ග අතර සඳහන් කර නොමැත. ධ්‍රැව මාර්ගයේ සැකැස්ම අන් මාර්ගවලට වඩා වෙනස් වූ විශේෂිත ස්වරූපයක් ගැනීම භරතමුනි ධ්‍රැව යන්න මාර්ග අතරට නොගැනීමට හේතුව ලෙස පෙනෙයි. නමුත් ශාර්ංගදේව ධ්‍රැව ප්‍රථම මාර්ගය ලෙස සලකන අතර දත්තිල ද මීට සමාන ව ධ්‍රැව මාර්ගය මාර්ග අතර මූලික මාර්ගය ලෙස සලකයි.

මාර්ග සිද්ධාන්තය අනුව කලාවේ කාල සීමාව වෙනස් වන අන්දම පහත ආකාරයෙන් වෙයි.

චිත්‍ර මාර්ගය                 ලඝු - මාත්‍රා 1

ගුරු - මාත්‍රා 2

ප්ලූත  - මාත්‍රා 3


වෘත්ති (වාර්තික)මාර්ගය  ලඝු - මාත්‍රා 2

ගුරු - මාත්‍රා 4

ප්ලූත -මාත්‍රා 6


දක්ෂිණ මාර්ගය ලඝු - මාත්‍රා 4

ගුරු - මාත්‍රා 8

ප්ලූත - මාත්‍රා 12

ධ්‍රැව මාර්ගයේ දී ක්‍රියා ලඝු, ගුරු හා ප්ලූත යන මාන තුනෙන් ම යුක්ත වන මුත් එවා  ඒකරසගුරුප්‍රස්තාර නමින් හඳුනවනු ලබන ඒකීය මානයකින් යුක්ත ය. ඩ්‍රැව මාර්ගයේ දී කලාව යනු ලඝු අක්ෂර පහක හෙවත් එක් මාත්‍රාවක කාල සීමාවකින් යුත් ගුරුවකි.


Post a Comment

Previous Post Next Post