භාරතීය සංගීතය පිළිබඳ අධ්‍යයනයේ දී මාත්‍රා නම් වූ සම්මත කාල ඒකකයට අමතර ව ක්ෂණ නම් වූ ඉතා කුඩා කාල ඒකකයක් පිළිබඳ ව සඳහන් වේ. නෙළුම් පත් සියයක් එක මත එක තබා ඒවා සිදුරු කිරීමට ගත වන කාලය ක්ෂණය ලෙස සංගීතමකරන්දය, සංගීතසමයසාර හා සංගීතපාරිජාත යන කෘතිවල විස්තර වේ (Sangītamakaranda Nrtyadhyāya trutīya pāda: 52, Sangītasamayasāra 7:2cd-4, Sangītapārijāta, Vādyadhyāya: 6).
ක්ෂණය යනු මොහොත යන අරුත ඇති ඉතා කුඩා කාල ඒකකයකි (Sanskrit English Dictionary, 1893). කාලයේ තව දුරටත් නොබෙදිය හැකි අවසාන කාල ප්‍රමාණය ක්ෂණය හෝ මොහොත ලෙස සැලකෙයි (Yōgadarśana 3: 52). ක්ෂණය මූලික කර-ගෙන ගොඩ නැඟූ කාල චක්‍රය සංගීතමකරන්ද කෘතියේ පහත ආකාරයෙන් දැක්වේ:
ක්ෂණ 8 - ලව 1
ලව 8 - කාෂ්ඨ 1
කාෂ්ඨ 8 - නිමේෂ 1
නිමේෂ 8 - කලා 1
කලා 2 - චතුර්භග 1
චතුර්භග 2 - අනු දැත 1
අනුදැත 2 - ලඝු 1
ලඝු 2 - ගුරු 1
ලඝු 3 - ප්ලුත 1
නිමේෂයක කාලය යනු ඇසි පිය හෙළන කාලය යි. ඇසි පිය හෙළන කාලය පුද්ගලානුබද්ධ කාලයකි. එනම්, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි කාලයකි. ඇසි පිය හෙළන කාලය වර්තමාන ව්‍යවහාර ඒකකවලින් තත්පර 0.1-0.4 අතර කාල පරාසයකි. මෙම කාල පරාසයේ මධ්‍යන්‍ය අගය ගත් කල එය තත්පර 0.25ක කාලයකි.
නිමේෂයක කාලය තත්පර 0.25 ලෙස ගනිමින් ඉහත කාල චක්‍රයට අනුව ක්ෂණයක කාල ප්‍රමාණය වර්තමාන ජාත්‍යන්තර සම්මත ඒකකවලින් පහත ආකාරයට ගණනය කළ හැකි ය.
නිමේෂ 1 = ක්ෂණ 512
නිමේෂ 1 = 0.25s
එම නිසා ක්ෂණ 1 = 0.25 /512
= 0.00048828125s
ඉහත අගයට අනුව ක්ෂණය යනු සාමාන්‍ය මිනිස් ඉන්ද්‍රියට ගෝචර නොවන අති සියුම් කාලයක් බව පැහැදිලි වේ. ක්ෂණය යනු ධ්‍යාන වඩන යෝගීන් ගේ මනසෙහි සියුම් බව ඇති කිරීම පිණිස නියම කර-ගත් කාලයකි(Yōgadarśana 3: 52). බුදු දහමේ ඉගැන්වෙන භාවනා ක්‍රමවල පවතින්නේ දුර සහ කම්පනවාර අතර පවතින සම්බන්ධතාව ඇසුරු කොට සියුම්භාවයට පත් කර-ගත් සිත සමාධිගත කර-ගැනීමකි. කාලයේ සියුම් බව ග්‍රහණය කර ගැනීම සිතෙහි සමාධිගත තත්ත්වයට හේතු වන බව මින් පැහැදිලි වේ.