සංගීත භාණ්ඩ වර්ගීකරණය



සංගීත භාණ්ඩ වර්ගීකරණය

 සංගීත භාණ්ඩ වර්ගීකරණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් ඉදිරිපත් කළ හැකි ය.

  1. භාවිතාව අනුව සංගීත භාණ්ඩ වර්ගීකරණය 
  2. මූලික කම්පන පදාර්තය අනුව සංගීත භාණ්ඩ වර්ගීකරණය 
භාවිතාව අනුව සංගීත භාණ්ඩ වර්ගීකරණය
සංගීත භාණ්ඩ භාවිතා කරන ආකාරය අනුව වර්ග කිරීම මේ යටතට ගැනේ. නාට්‍යශාස්ත්‍රයේ භාවිතාව අනුව සංගීත භාණ්ඩ වර්ග දෙකක් දක්වා ඇත. 
       i. අංග
      ii. ප්‍රත්‍යාංග
යම් නියමිත ස්වරයකට පිළිවෙලකට සකස් කරණ භාණ්ඩ අංග වශයෙන් ද, යම් නියමිත ස්වරයකට සකස් නො කරන, නියමිත වාදන ශෛලියක් හෝ අක්‍ෂර උත්පාදනය කිරීමක් හෝ නොමැති භාණ්ඩ ප්‍රත්‍යාංග වශයෙන් ද නාට්‍යශාස්ත්‍රයේ සඳහන් වෙයි.

සංගීතරත්නාකරයෙහි භාවිතාව අනුව සංගීත භාණ්ඩ වර්ග හතරක් දක්වා ඇත.
      i. ශුෂ්ක       
      ii. ගීතානුග      
      iii.නෘත්තානුග  
      iv.ද්වයානුග    

ඒකල වාදනයන් කෙරෙනා භාණ්ඩ ශුෂ්ක වශයෙන් හැඳින්වෙන අතර මේ සඳහා ගෝෂ්ඨි යන නාමය ද යෙදෙන බව සංගීතරත්නාකරයේ සඳහන් වෙයි. ගායනා සඳහා සහාය වාදනය කෙරෙන භාණ්ඩ ගීතානුග වශයෙන් ද, නෘත්‍ය සඳහා සහාය වාදනය කෙරෙන භාණ්ඩ නෘත්තානුග වශයෙන් ද, ගායන හා නෘත්‍ය යන දෙක ම සඳහා සහාය වාදනය කෙරෙන භාණ්ඩ ද්වයානුග වශයෙන් ද මෙහි දී වර්ගීකරණය කොට ඇත. 

මූලික කම්පන පදාර්තය අනුව සංගීත භාණ්ඩ වර්ගීකරණය 
මේ යටතේ ගැනෙන වර්ගීකරණය ප්‍රධාන කොටස් තුනකින් ඉදිරිපත් වී ඇත. 
2.1. ත්‍රිවිධ වර්ගීකරණය
2.2. චතුර්විධ වර්ගීකරණය
2.3. පංචවිධ වර්ගීකරණය 

ත්‍රිවිධ වර්ගීකරණය 
නාරද විසින් 1 වන සියවසේ දී ත්‍රිවිධ වර්ගීකරණයක් සිදු කොට ඇත
      i. චර්ම
      ii. තන්ත්‍රික
      iii. ඝන

පැරණි බටහිර සංගීත භාණ්ඩ වර්ගීකරණය ද ත්‍රිවිධ වර්ගීකරණය යටතේ සිදු කොට ඇත
     i' Percussion
     ii. Wind
     iii. Stringed

කුහර සහිත වස්තුවක් මත ඇතිරූ සත්ත්‍ව සමකට ආඝාතයෙන් හෝ ඝන ද්‍රව්‍යයන් දෙකක් එකිකෙන ඝට්ටනයෙන් නාදයක් උත්පාදනය වන භාණ්ඩ Percussion යටතට ද, වායු කඳක් කම්පනයෙන් නාදයක් උත්පාදනය වන භාණ්ඩ Wind වශයෙන් ද, තත් කම්පනයෙන් නාදය උපදවන්නා වූ භාණ්ඩ Stringed වශයෙන් ද වර්ගීකරණය කර ඇත.

චතුර්විධ වර්ගීකරණය
මහා ඍෂි භරතමුනි ගේ වර්ගීකරණය චතුර්විධ වෙයි. ක්‍රි. ව. දෙ වන සියවසේ දී භරතමුනි විසින් රචිත නාට්‍යශාස්ත්‍රයේ සංගීත භාණ්ඩ වර්ගීකරණය දැක්වෙන්නේ පහත ආකාරයට ය. 
    i. තත
    ii. වනද්ධ
    iii. ඝන
    iv. සුෂිර

තත් කම්පනයෙන් නාදය උපදවන්නා වූ භාණ්ඩ තත වශයෙන් ද, කුහර සහිත වස්තුවක් මත ඇතිරූ සත්ත්‍ව සමක් කම්පනයෙන් නාදයක් උත්පාදනය වන භාණ්ඩ අවනද්ධ යටතට ද, ඝන ද්‍රව්‍යයන් දෙකක් එකිකෙන ඝට්ටනයෙන් නාදයක් උත්පාදනය වන භාණ්ඩ ඝන යටතට ද, වායු කඳක් කම්පනයෙන් නාදයක් උත්පාදනය වන භාණ්ඩ සුෂිර වශයෙන් ද වර්ගීකරණය කර ඇත.

කෝහල ගේ වර්ගීකරණය අනුව (ක්‍රි. ව. 6 වන සියවසට පෙර) ද සංගීත භාණ්ඩ හතර වර්ගයක් ඇත. 
එනම්,  i. සුෂිර 
          ii. ඝන
         iii. චර්මබද්ධ
         iv. තන්ත්‍රී 

බටහිර සංගීතයෙහි වඩාත් සධාරණ වූ වර්ගීකරණයක් ප්‍රථම වරට ක්‍රි. ව. 1880 දී වික්ටර් මහිලාන්ඵ්ය විසින් සිදු කර ඇත. මූලික කම්පක පදාර්ථය පදනම් කොට බිහි වුණු එම වර්ගීකරණය පහත ආකාරයෙන් දැක්විය හැක.
      i. Autophones
     ii. Membranophones
    iii.Chordophones
    iv.Aerophones

මෙම වර්ගීකරණයේ සුළු වෙනසක් සිදු කරමින් 1914 දී එරික් වෝන් හෝන්බාස්ටල් හා කර්ට් සැක්ස්  විසින් නව වර්ගීකරණයක් සිදු කරන ලදී. මෙහි දී ඉහත වර්ගීකරණයෙහි Autophones යන්න වෙනුවට Idiophones යන්න ආදේශ කර- ඇත. මෙය ‘හෝන්බාස්ටල්-සැක්ස් ’ ක්‍රමය ලෙස ජාත්‍යන්තර ව පිළිගෙන ඇත. හෝන්බාස්ටල්-සැක්ස් වර්ගීකරණය පහත ආකාරයට ඉදිරිපත් කළ හැක. 
1. Idiophones
2. Membranophones
3. Chordophones
4. Aerophones 

පසු කාලීන ව නවීන තාක්ෂණය සංගීත ලෝකයට පිවිස අභිනව භාණ්ඩ බිහි වීම හේතුවෙන් ඉහත වර්ගීකරණය අබිබැවූ වර්ගීකරණයකට යාමට සිදු වී ඇත. මේ අනුව පස් වන භාණ්ඩ වර්ගීකරණයක් ලෙස Electrophones යන්න හඳුන්වා දී ඇත. කම්බියක් තුළ ඇති වන විද්‍යුත් ස්පන්දයක් හේතුවෙන් නාදයක් ඉපදවෙන භාණ්ඩ Electrophones ලෙස අර්ථ දැක්වෙයි.

2.3 පංචවිධ වර්ගීකරණය
ද්‍රවිඩ සංගම් සාහිත්‍යයට අනුව ද සංගීත භාණ්ඩ පංචවිධ වර්ගීකරණයට අනුව බෙදා ඇත. එම වර්ගීකරණය පහත ආකාරයට දැක්විය හැක.
1. තෝර්කරූවි  
2. තුලඉක්කරූවි
3. නරම්පුකරූවි
4. මිඅතෘක්කරූවි
5. කන්චක්කරූවි

තෝල් යනු සම් ය. එමනිසා තෝර්කරූවි  යනු බෙර වර්ග ය. තුලයි යන්නෙන් සිදුර යන අර්ථය ලැබේ. මේ නිසා සිදුරු සහිත භාණ්ඩ හෙවත් සුෂිර භාණ්ඩ තුලඉක්කරූවි යටතේ වර්ගීකරණය වෙයි. නාරම්පු යනු සත්ත්‍ව තන්තු  ය. මේ නිසා තත් භාණ්ඩ නරම්පුකරූවි යටතට ගැනෙයි. මිඅතෘක්කරූවි යනු මනුෂ්‍ය කටහඬ ය. කන්චක්කරූවි යනු ලෝහ භාණ්ඩ ය. 

Post a Comment

Previous Post Next Post