අවනද්ධ භාණ්ඩ වර්ගීකරණය

 


අවනද්ධ භාණ්ඩ වර්ගීකරණය

ශබ්දාර්ථයෙන් අවනද්ධ යනු වසුණු යන අරුත් ය. සමකින් ආවරණය කර-ගන්නා ලද මැද කුහර සහිත වස්තුවක හම මත ආඝාතයෙන් නාදයක් උපදවා-ගත හැකි භාණ්ඩ අවනද්ධ භාණ්ඩ ලෙස සරල ව හැඳින්විය හැකි ය. අවනද්ධ යන වචනය ‘අව’ හා ‘නහ’ යන ධාතු සන්ධි වීමෙන් සෑදී ඇතැ යි තාල වාද්‍ය ශාස්ත්‍ර ග්‍රන්ථයේ සඳහන් වෙයි (මරාඨේ 1991). බටහිර රටවල Membranophones යන වදන අවනද්ධ භාණ්ඩ හැඳින්වීම සඳහා යොදයි. Membrane  යන්නෙහි අර්ථය තුනී සිවිය යන්න ය. ද්‍රවිඩ සංගම් සාහිත්‍යයේ තෝල්කරුවි යනුවෙන් අවනද්ධ භාණ්ඩ හඳුන්වයි. ද්‍රවිඩ භාෂාවෙන් තෝල් යන්නෙහි අරුත සම යන්න ය. 

අවනද්ධ භාණ්ඩයක ප්‍රධාන කම්පක ද්‍රව්‍යය සත්ත්‍ව සම ය. කඳ එහි අනුනාදකය වෙයි. අඝාතයක්, ඇතිල්ලීමක් වැනි ක්‍රියාවක් නාදය ඉපදවීමට හේතු කාරක වන්නකි. මේ අනුව, ‘සමකින් ආවරනය කර-ගන්නා ලද මැද කුහර සහිත වස්තුවක හම දණ්ඩක් අධාරයෙන් හෝ අතින් හෝ ආඝාත කිරීමෙන් හෝ ඇතිල්ලීමෙන් හෝ නාදයක් උපදවා-ගත හැකි භාණ්ඩ අවනද්ධ භාණ්ඩ’ ලෙස නිර්වචනය කළ හැක.  

අවනද්ධ භාණ්ඩ වර්ගීකරණය ප්‍රධාන වශයෙන් දෙ අකාරයකට දැක්විය හැකි ය.

    1. ආකෘතිය පදනම් වූ වර්ගීකරණය
    2. වාදන ශෛලිය පදනම් වූ වර්ගීකරණය

1. ආකෘතිය පදනම් වූ වර්ගීකරණය

ආකෘතිය පදනම් වූ වර්ගීකරණය පංචවිධ වර්ගීකරණයක් ලෙස දැක්විය හැකි ය

  • වළල්ලක් මත හම රැඳවූ අවනද්ධ භාණ්ඩ
  • හමක් රැඳවූ එක් මුහුණතක් පමණක් ඇති අවනද්ධ භාණ්ඩ
  • මුහුණත් දෙකක් ඇති එක් මුහුණතක් මත පමණක් හම රැඳවූ අවනද්ධ භාණ්ඩ
  • මුහුණත් දෙක ම සමින් ආවරණය වුණු අවනද්ධ භාණ්ඩ
  • එක ම කඳක ආවරණය වුණු මුහුණත් දෙකකට වැඩියෙන් ඇති අවනද්ධ භාණ්ඩ
වළල්ලක් මත හම රැඳවූ අවනද්ධ භාණ්ඩ
මේ භාණ්ඩ නිර්මාණය ඉතා සරල ය. යකඩ හෝ ලීවලින් තැනූ වළල්ලක් මත හමක් සවි කර-ගැනීමෙන් නිර්මාණය කර-ගන්නා භාණ්ඩ මේ යටතට ගැනෙයි. වලයම් හෙවත් චක්‍රාකාර වට්ටු බෙර (Circular framed drum) පැරණි බෙර වර්ගයකි. මෙවැනි අවනද්ධ භාණ්ඩ සඳහා උදාහරණ වශයෙන් දක්‍ෂිණ භාරතීය කෝවිල්වල වාදනය වන සූර්ය පිරායි හා චන්ද්‍ර පිරායි (සූර්ය මණ්ඩලම් හා චන්ද්‍ර මණ්ඩලම්) නැමැති භාණ්ඩ යුගලය දැක්විය හැකි ය.

හමක් රැඳවූ එක් මුහුණතක් පමණක් ඇති අවනද්ධ භාණ්ඩ
මේ ආකාරයේ භාණ්ඩවල මූලික අදහස stamping pit ඇසුරින් පැමිණියේ යැයි සිතීම වඩාත් සාධාරණ ය. මෙම ස්වරූපය ගත් මුල් ම අවනද්ධ භාණ්ඩය පොළොව මත වළක් හාරා එය මත සත්ත්ව සමක් සවිකර ගැනීමෙන් සකස් කළ භාණ්ඩයක් වන අතර එය ඉන්දීය වේද සාහිත්‍යයේ භූමිදුන්දුභි ලෙස හඳුන්වා ඇත. ලිඛිත ඉතිහාසගත පැරණිතම අවනද්ධ භාණ්ඩය භූමි දුන්දුභී ලෙස සැලකෙයි.

උදා:-   තබ්ලා 
            සංබල් 
           නක්කරා
           ටාශා
           කිරීකිට්ටි
           තම්මැට්ටම 
           කුඩ්මුජා


මුහුණත් දෙකක් ඇති එක් මුහුණතක් මත පමණක් හම රැඳවූ අවනද්ධ භාණ්ඩ
මේ ස්වරූපයේ භාණ්ඩ ද්වි මුඛ අවනද්ධ භාණ්ඩවලට ප්‍රථම ඇති වූ ඒවා වෙයි. ගස් කඳක් කපා මැද හාරා ඉවත් කර එහි මුහුණත මත හමක් ඇතිරීමෙන් මෙවැන් භාණ්ඩ නිපදවීම ආදි මිනිසා ස්වභාවධර්මය තුළින් උගත් දේ ක්‍රියාවට නැංවීමකි.
උදා:-   චංග
           ඛංජරී
          කංජිරා
          රබාන

මුහුණත් දෙක ම සමින් ආවරණය වුණු අවනද්ධ භාණ්ඩ
අතීතයේ සිට වර්තමානය දක්වා  සුලබ ව දක්නට ලැබෙන භාණ්ඩ ආකෘතියකි.

    උදා:- ඩෝල්
             මෘදංගම්
             පඛාවජ්
             ගැටබෙරය
             දවුල
             දෙවොල් බෙරය


එක ම කඳක ආවරණය වුණු මුහුණත් දෙකකට වැඩියෙන් ඇති අවනද්ධ භාණ්ඩ
පුරාණ භාරතයේ පැවති අවනද්ධ භාණ්ඩ ස්වරුපයක් වන මෙය වර්තමානයේ දුලබ භාණ්ඩ ස්වරූපයකි. මෙහි ස්ථිර එක් ආකෘතියක් දැක්විය නො හැකි ය. නාට්‍යශාස්ත්‍රයේ සඳහන් ත්‍රිපුෂ්කරය, එසේ ම වර්තමානයේ දක්‍ෂිණ භාරතීය කොවිල්වල වාදනය වන පංචමුඛවාද්‍යම් හා පැරණි භාණ්ඩ ආකෘතියක් ඇති පුෂ්කර වාද්‍යම් මේ සඳහා උදාහරණ ය.

2. වාදන ශෛලිය පදනම් වූ වර්ගීකරණය

මෙම වර්ගීකරණය සයවිධ වර්ගීකරණයක් ඉදිරිපත් කළ හැකි ය

  • එක අතකින් පමණක් වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
  • දෑතින් ම වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
  • එක් අතකින් ගත දණ්ඩකින් පමණක් වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
  • දෑතින් ම ගත් දඬුවලින් වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
  • එක් අතකින් පමණක් ගත් දණ්ඩක් සහිතව දෑතින් ම වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
  • කුඩා ගැටයක් ආධාරයෙන් වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ  

එක අතකින් පමණක් වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
මේ යටතේ වර්ගීකරණය වන භාණ්ඩ බොහෝ විට එක් අතකින් භාණ්ඩය රඳවා ගෙන අනෙක් අතින් වාදනය කෙරෙයි
    උදා:- උඩැක්කිය 
             රබාන
             කංජිරා
             ඛංජරී

දෑතින් ම වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
මේ යටතේ එක් මුහුණතකට පමණක් දෑතින් ම වාදනය කෙරෙන භාණ්ඩ සේ ම මුහුණත් දෙකටම දෑතින් වාදනය කෙරෙන භාණ්ඩ විස්තර වෙයි
    උදා:- ඛෝල්
             ජෙම්බෙ
             බුම්මැඩිය
             ඩෝල්
             මෘදංගම්
             පඛාවජ්

එක් අතකින් ගත් දණ්ඩකින් පමණක් වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
මේ යටතේ වර්ගීකරණය වන භාණ්ඩ එක් අතකින් රඳවාගෙන හෝ උරහිසෙහි එල්ලාගෙන හෝ වාදනය කෙරෙයි
    උදා:- ඉඩක්කා
             දවුල 

දෑතින් ම ගත් දඬුවලින් වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
මෙම භාණ්ඩ ඉනෙහි රඳවාගෙන හෝ බෙල්ලේ එල්ලාගෙන හෝ යම් ආධාරකයක් මත තබාගෙන හෝ වාදනය කෙරෙයි
    උදා:-  දවුල
              තම්මැට්ටම 
              චෙන්ඩා
              සංබල් 
              නක්කරා

එක් අතකින් පමණක් ගත් දණ්ඩක් සහිතව දෑතින් ම වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
මෙහිදී එක් අතකින් ගත් දණ්ඩකින් හා අනෙක් අතෙහි ඇඟිළිවලින් හෝ සම්පූර්ණ අත්ලෙන් වාදනය කෙරෙයි
    උදා :-  දවුල
               තවිල් 
              ඩෝල් 
              පම්බායි

කුඩා ගැටයක් ආධාරයෙන් වාදනය කෙරෙන අවනද්ධ භාණ්ඩ
මේ යටතේ වර්ගීකරණය වන භාණ්ඩ විශේෂ ස්වභාවයකින් යුක්ත ය ඒවා  ඍජු ව ම අත්ලෙන් හෝ දණ්ඩකින් වාදනය නොකෙරෙන අතර නූලක කෙලවර සැකසූ කුඩා ගැටයක් වැනි දෙයක් භාණ්ඩය දෙපසට සෙලවීමෙන් මුහුණත් ආවරණ කෙරෙන හම මත ආඝාත වීමට සැලැස්වීමෙන් නාදයක් උතපාදනය කරගනියි

    උදා:- ඩමරු



ජාත්‍යන්තර ව පිළිගත් අවනද්ධ භාණ්ඩ වර්ගීකරණය
ජාතයන්තර ව පිළිගත් සංගීත භාණ්ඩ වර්ගීකරණය වනHonbastel- Sachs වර්ගීකරණය යටතේ අංග සම්පූර්ණ අවනද්ධ භාණ්ඩ වර්ගීකරණයක් දැක ගත හැකි ය. 
මෙම වර්ගීකරණය මූලික ව පංචවිධ වර්ගීකරණයක් ලෙස ඉදිරිපත් කෙරෙයි.  

  • Struck Membranophones
  • Plucked  Membranophones
  • Friction  Membranophones
  • Singing  Membranophones (Kazoos)
  • Unclassified  Membranophones
මෙම වර්ගීකරණය පිළිබඳ සම්පූර්ණ විස්තරය Classification of Honbastel and Sachs යටතේ අන්තර්ජාලයෙන් ලබාගත හැකි ය















Post a Comment

Previous Post Next Post