භාරතීය ලය සංකල්පය

 


භාරතීය ලය සංකල්පය

කාලයේ පවතින ගතික ස්වභාවය භාරතීය සංගීත පර්යාලෝකයට අනුව ලය ලෙස විස්තර කළ හැකි ය. ලය සංකල්පය තාලයටත් කාලයටත් පොදු සාධකයකි. ලය සංකල්පය කාලයේත් ඇත; තාලයේත් ඇත. කාලයෙන් හෝ තාලයෙන් හෝ ලය ඉවත් කළ කල්හි තව දුරටත් කාලයක් හෝ තාලයක් නොපවතියි. සැබැවින් ම සිද්ධාන්තයක් ලෙස සංගීතයේ භාවිත ලය යන්න ස්වභාව ධර්මයේ ම පවතින්නා වූ අංගයකි.

ශ්‍රැතිර්මාතාලය:පිතා ලෙස සංගීතරත්නාකරයෙහි දක්වා ඇත. එනම් ශ්‍රැතිය හා ලය සංගීතයෙහි මව හා පියා ලෙස ශාර්ංගදේව විග්‍රහ කරයි. ශ්‍රැතිය හා ලය නොමැති කල සංගීතයක් ද නොපවතින බව මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ශ්‍රැතිය එහි මුල් ස්වරූපයෙන් ස්ථිතික වෙයි. නමුත් එය ගතික වූ ලයක් සමඟ සම්බන්ධ වූ විට, එම ස්වර ප්‍රවාහය ස්ථිර හා සජීවී වෙයි. ශ්‍රැතිය සහ ලය සංයෝගය නිසා සංගීතය ජීවමාන වීම මෙයින් ගම්‍ය වෙයි. සංගීතයේ පවතින සෞන්දර්යාතමක බව ලය නිසා ම උත්පාදනය වන්නකි. සංගීතයට ජීවය ලැබෙන්නේ ලය මගිනි. මේ නිසා ම සංගීතයේ ප්‍රාණය ලය ලෙස බොහෝ අය දක්වති. 

ලය යන්න ‘ඇලී තිබීම’ යන අරුත දෙන ‘ලින්’ යන මූලයෙන් උත්පන්න වී ඇත. ක්‍රියාවෙන් පසු ව සෑම විට ම විරාමයක් එය හා සම්බන්ධ ව (ඇලී) පවතියි. විරාමයක් රහිත ව ක්‍රියා කිසි ම අයුරකින් පැවතිය නො හැකි ය.

ලය කලා හා සම්බන්ධ ව උත්පන්න වන බව භරතමුනි පවසයි (The Natyasastra, xxxi.5). කලා යනු ක්‍රියා මඟින් බෙදනු ලබන කාල ප්‍රමාණයක් බව සරල ව පැවසිය හැකි ය. කලා යනු මිනුමකි. එය ලඝු, ගුරු හා ප්ලුත යන කාල ත්‍රය පදනම් ව ගොඩ නැගෙයි. ලඝු, ගුරු හා ප්ලුත යනු මාත්‍රාව මත ස්ථාපනය වන කාල ත්‍රයකි (The Sangitaratnakara, v. 17 ab). මෙම ප්‍රමාණාත්මක කාල ඛණ්ඩ රිද්මය හා මුහු වීමේ දී කාල ඛණ්ඩයේ ගතික ස්වභාවය මතු වෙයි. කලාවේ මේ ගතික ස්වභාවය ලය ලෙස හැඳින්වෙයි.

ක්‍රියාවකින් පසු ව ඇති විරාමය හෙවත් ක්‍රියා දෙකක් අතර විශ්‍රාන්තිය ලය ලෙස ශාර්ංගදේව පවසයි (The Sangeetarathnakara, v.43). විශ්‍රාන්තිය හෝ විරාමය යන්නෙන් ක්‍රියාවේ ගතික ස්වභාවය ම අරුත් ගැන්වෙයි.  භරතමුනි හා ශාර්ංගදේව ලය පිළිබඳ ව දෙආකාරයකට අර්ථ විග්‍රහයක යෙදුණ ද ඒ දෙකෙහි ම ඇත්තේ එක ම අරුතකි.

 ක්‍රියා ඇත්තේ යම් තැනක ද එතැන ලය පවතියි. ක්‍රියාවේ කාල සීමාව කලා ලෙස හැඳින්විය හැකි බව ඉහතින් සඳහන් කෙරිණි. ක්‍රියාවේ කාල සීමාව කලා ලෙසත්, ක්‍රියාවෙන් පසු ව යෙදෙන  විරාමය ලය ලෙසත් සැලකීමේ දී කලා හා ලය යනු එක ම කරුණක් උදෙසා යෙදෙන වචන ද්වයක් ලෙස බැලු බැල්මට පෙනුණ ද, කලා හා ලය යනු එක ම අරුත ඇති වදන් නො වන බව ඒ පිළිබඳ ව ගැඹුරින් අධ්‍යයනයෙන් පැහැදිලි වෙයි. ක්‍රියාවේ ප්‍රමාණය මනිනු ලබන්නේ කලා මගින් වන අතර ලය මගින් එහි ගතිය පිළිබිඹු වෙයි.  මේ අනුව කලා මගින් ක්‍රියාවේ සම්මත කාල ප්‍රමාණය දැක්වෙන අතර ලය මගින් එහි ගතික ස්වභාවය දැක්වෙයි. ලය රහිත ව කලා එහි නියම ස්වරූපය නොගන්නා බව අභිනව ගුප්ත පවසයි (Abhinava Bharathivol iv, p153,1.9).

ලය පිළිබඳ විග්‍රහයන්ට අනුව ක්‍රියාවට පසු ව ඇති විරාමයෙ කාල සීමාව හෙවත් ක්‍රියා දෙකක් අතර කාලාන්තරය වෙනස් කිරීමෙන් ලය ද වෙනස් කළ හැකි ය යන මූලික තර්කය ගොඩනැගිය හැකි වුව ද ක්‍රියාවේ කාලාන්තරය මාත්‍රා නම් වූ ඒකකය මත ස්ථාපිත වන ලඝු, ගුරු හා ප්ලුත යන කාල ත්‍රය පදනම් ව නිර්ණය වෙයි. මේ අනුව ක්‍රියාවේ කාලාන්තරය සඳහා සීමා ඇති බව පැහැදිලි වෙයි

 ලය ත්‍රය

කලාවේ කාල සීමාව අනුව විලම්බ, මධ්‍ය හා ද්‍රැත වශයෙන් ලය තෙවැදෑරුම් බව භරතමුනි පවසන අතර (The Natyasastra,xxxi.5), ක්‍රියා අතර කාලාන්තරය අනුව විලම්බ, මධ්‍ය හා ද්‍රැත යන ලය ත්‍රය බිහි වන බව ශාර්ංගදේව පවසයි (The Sangeetarathnakara, v.43). 

ක්‍රියාවේ සාමාන්‍ය කාලාන්තරය, එනම් කලා, මාත්‍රා නම් වූ ඒකකය මත ස්ථාපනය වෙයි. මාත්‍රාව සඳහා යම් නිශ්චිත ප්‍රමාණයක් ඇත. භරතමුනි (Natyasastra, 31:3) මාත්‍රාව නිමේෂ පහක කාලයක් ලෙසටත්,  ශාර්ංගදේව (Sangitaratnakara,5:16)  එය ලඝු අක්ෂර පහක උච්ඡාරණ කාල සීමාවක් ලෙසටත් විස්තර කරති. ක්‍රියාවේ කාලාන්තරය වෙනස් කිරීමේ දී මාත්‍රාවේ කාල සීමාව ඒ සඳහා භාවිත කළ නොහැකි බව පැහැදිලි ය. ක්‍රියාවේ කාලාන්තරය තීරණය කිරීමේ දී මාර්ග සංකල්පය මෙහි දී වැදගත් වෙයි. කලා නම් වූ ප්‍රමාණාත්මක කාල ඒකකයට මාර්ග ආදේශ වීමේ දී ආඝාතයක හැසිරීම අනුව ලයෙහි විවිධ ස්වභාවන් මතු වෙයි. 

භරතමුනි ගේ ලය විග්‍රහයට අනුව විලම්භ, මධ්‍ය හා ද්‍රැත යන ලය ත්‍රයෙහි උත්පත්තියට හේතුකාරක වන්නේ මාර්ග සංකල්පය යි. දක්ෂිණ මාර්ගයෙන් විලම්භ ලයත්, වෘත්ති මාර්ගයෙන් මධ්‍ය ලයත්, චිත්‍ර මාර්ගයෙන් ද්‍රැත ලයත් උත්පාදනය වෙයි. මාර්ග සිද්ධාන්තයේ දී ලඝු, ගුරු හා ප්ලුතයට අනුව කලාවේ කාල සීමාව වෙනස් වන ආකාරය පහතින් දැක්වෙයි.

            


විලම්බ ලයෙන් මන්දගාමී ස්වභාවයත්, මධ්‍ය ලයෙන් මධ්‍යස්ථ ස්වභාවයත්, ද්‍රැත ලයෙන් ශීඝ්‍ර ස්වභාවයත් නිරූපණය වෙයි. විලම්බ ලය උත්පාදනය වන්නේ දක්ෂිණ මාර්ගයට අනුව කලාවේ ප්‍රමාණය සැකසීමෙන් ය. දක්ෂිණ මාර්ගයේ දී කලාවක් මාත්‍රා අටකින් යුක්ත වෙයි. මාත්‍රා අටක කාලයක් යනු ප්‍රමාණාත්මක ව මැනෙන අගයකි. කලා නම් වූ ප්‍රමාණාත්මක කාල ඒකකය තුළ ආඝාතයක හැසිරීම ලය ඇසුරෙහි විස්තර වෙයි. මෙහි දී ආඝාතය පවත්වා-ගෙන යන ගතික ස්වභාවය ලයෙහි විවිධ ස්වභාව උත්පාදනය වීමට හේතු වෙයි. දක්ෂිණ මාර්ගය ප්‍රමාණාත්මක වශයෙන් මාත්‍රා අටකි. එහෙත් එහි ගතික ස්වභාවය විලම්බ ලය ලෙස හැඳින්වෙයි. විලම්බ ලය යන ගතික බව උත්පාදනය වන්නේ මුල් මාත්‍රාව මත ආඝාතය තබා ඉතිරි මාත්‍රා හත ආඝාත විරහිත ව තබා-ගනිමින් එය ආවර්ත කිරීමෙන් ය. මේ ආකාරයට වෘත්ති මාර්ගයට අනුව කලාව සැකසීමෙන් මධ්‍ය ලයත්, චිත්‍ර මාර්ගයට අනුව කලාව සැකසීමෙන් ද්‍රැත ලයත් උත්පාදනය වෙයි 

එක් මාර්ගයක සිට අනෙක් මාර්ගයට යාමේ දී ක්‍රියාවේ කාල සීමාව වැඩි වන බැවින් ලය ද ඊට අනුව වැඩි වෙයි. මෙහිදී මාත්‍රාවේ ප්‍රමාණය වෙනස් නොවන අතර ඒ ඒ මාර්ගයට අනුව කලාවේ මාත්‍රා සංඛ්‍යාව පමණක් වෙනස් වෙයි.

ලය පිළිබඳ ව ශාර්ංගදේව ගේ විග්‍රහයේ දී  විලම්බ, මධ්‍ය, ද්‍රැත යන ලයත්‍රයට අමතර ව තව ලය ස්වභාවයන් පැවතිය හැකි බව පවසයි. විශේෂයෙන් මාර්ග වෙනසට අමතර ව මන්දගාමී බව, මධ්‍යස්ථ බව හා වේගවත් බව ආදි වූ හැඟීම් කරණ කොට විවිධ ලය ස්වභාවයන් උත්පාදනය විය හැකි බව ඔහු පවසයි (The Sangitarathnakara, v.45-46).  මෙය කලාවේ ප්‍රමාණයට අනුගත ව ලය පිහිටුවීමේ ක්‍රමවේදය අතීක්‍රමණය කිරීමක් වෙයි.

වර්තමාන උත්තර භාරතීය ලය සංකල්පයෙහි විලම්භ, මධ්‍ය හා ද්‍රැත යන ලය ත්‍රයට අමතර ව අතිවිලම්භ හා අතිදෘත ආදී ලයයෝ භාවිත්යෙ පවතියි. පුරාණයේ දී මෙන් ලඝු, ගුරු හා ප්ලුත යන කාල ත්‍රය ලය සංකල්පය හා බද්ධ ව නොපවතින මුත් සය විධ මාර්ග සංකල්පයකට අනුව ලයෙහි ප්‍රභේද උත්පාදනය වෙයි

වර්තමාන උත්තර භාරතීය සංගීතය හා බද්ධ ව පවතින ලය පිළිබඳ ව අධ්‍යයනයේ දී විලම්බ, මධ්‍ය, ද්‍රැත හා එයිනුත් ඔබ්බට ගිය අතිවිලම්බ හා අතිද්‍රැත වැනි ලය ප්‍රභේද භාවිතයේ තිබුණ ද පුරාණයේ මෙන් ඒවා ස්ථිර තලවල ස්ථානගත් කිරීමක් පැහැදිලි ව ම දක්නට නොමැත. විශේෂයෙන් ක්‍රියා අතර කාලාන්තරය මත්‍රා පදනමෙහි තබා වෙනස් කරනවා වෙනුවට එය සියුම් ව අඩු වැඩි කිරීමෙන් විවිධ ලය තත්ත්වයන් උත්පාදනය කර-ගන්නා වූ ක්‍රමවේදයක් වර්තමාන සංගීතයෙහි දක්නට ඇත. වර්තමානයේ දී මාත්‍රාවක ප්‍රමාණය පෙර දී මෙන් ලඝු අක්ෂර පහක උච්ඡාරණ කාලය හෝ නිමේෂ පහක කාලය යන සම්මතයේ නොපිහිටා කටයුතු කිරීම නිසා මෙවන් තත්ත්වයක් මතු වී ඇති බව පෙනෙයි. මේ නිසා ම පුරාණයේ දී විලම්බ, මධ්‍ය, ද්‍රැත වශයෙන් පැවති ලයෙහි පියවර ත්‍රය විලම්බ, මධ්‍ය, ද්‍රැත වශයෙන් වූ ලය පරාසයත්‍රයක් දක්වා වෙනස් වී ඇත. 

ලය පිළිබඳ විග්‍රහයේ දී එය වේගය හා සම්බන්ධ කරමින් ‘තාලයේ වේගය ලය වෙයි’ ‘සංගීතයේ වේගය ලය වෙයි’ ආදී වශයෙන් ඉදිරිපත් කෙරෙන විග්‍රහයන් බොහෝ විට වර්තමානයේ දක්නට ලැබෙන්නකි. මෙහි දී ලය යන්න වේගය හා සම්බන්ධ කර-ගනිමින් විග්‍රහ කිරීමේ ඖචිත්‍යය විමසා බැලිය යුතු ය. 

‘වේගය’ යන්නෙහි විද්‍යාත්මක අර්ථ විග්‍රහය නම් යමක් ඒකක කාලයක දී ගමන් කළ දුර යන්න ය. වේගය හා සම්බන්ධ ව කාලයක් පැවතිය යුතු ය. එසේ ම ගමන් කළ දුරක් ද පැවතිය යුතු ය. මෙය තව දුරටත් විග්‍රහ කර දක්වන්නේ නම් වේගයක් ඇති තැන යමක චලනයක් ද ඇත. චලනය ශුන්‍ය වූ කල්හි වේගය ද ශුන්‍ය වෙයි. නමුත් ලය සංකල්පයෙහි ගත වන කාලයක් ඇති මුත් එහි ගමන් කළ දුරක් නොමැත. කාලයට හෝ තාලයට හෝ සංගීතයට හෝ මේ ආදී කිසිවකට ගමන් කළ නො හැකි ය. එසේ නම් ලය යන්න වේගය හා සම්බන්ධ කර-ගනිමින් විග්‍රහ කිරීමෙන් එහි නියම අරුත මතු නො වන බව පැහැදිලි වෙයි. ලය කාලය හා බද්ධ ව පවතින්නකි. කාලයෙහි ඇත්තේ ගතවීමකි. මේ ගතවීම ඒකාකාර ව සිදු වන්නකි. එහි අඩුවැඩි වීමක් නොමැත. මේ ආකාරයට කාලය හා බද්ධ ව පවතින්නා වූ ලයෙහි ද  අඩුවැඩි වීමක් තිබිය නොහැකි බවට තර්ක කළ හැකි ය. නමුත් කාලයෙහි අඩුවැඩි වීමක් නොවුව ද ලයෙහි අඩුවැඩි වීමක් ඇත්තේ එය මාර්ග සිද්ධාන්තය හා සම්බන්ධ වූ විට දී ය. ලය සංකල්පය මාර්ග සිද්ධාන්තයට අනුගත ව අවබෝධ නොකරගන්නා තාක් ලයෙහි අඩුවැඩි වීම සිදු වන ආකාරය පිළිබඳ ව අවබෝධ කරගත නො හැකි ය.

Post a Comment

Previous Post Next Post