අවනද්ධ භාණ්ඩ හැඳින්වීම


ශබ්දාර්ථයෙන් අවනද්ධ යනු වසුණු යන අරුත් ය. සමකින් ආවරණය කර-ගන්නා ලද මැද කුහර සහිත වස්තුවක හම මත ආඝාතයෙන් නාදයක් උපදවා-ගත හැකි භාණ්ඩ අවනද්ධ භාණ්ඩ ලෙස සරල ව හැඳින්විය හැකි ය. අවනද්ධ යන වචනය ‘අව’ හා ‘නහ’ යන ධාතු සන්ධි වීමෙන් සෑදී ඇතැ යි තාල වාද්‍ය ශාස්ත්‍ර ග්‍රන්ථයේ සඳහන් වෙයි (මරාඨේ 1991). බටහිර රටවල Membranophones යන වදන අවනද්ධ භාණ්ඩ හැඳින්වීම සඳහා යොදයි. Membrane  යන්නෙහි අර්ථය තුනී සිවිය යන්න ය. ද්‍රවිඩ සංගම් සාහිත්‍යයේ තෝල්කරුවි යනුවෙන් අවනද්ධ භාණ්ඩ හඳුන්වයි. ද්‍රවිඩ භාෂාවෙන් තෝල් යන්නෙහි අරුත සම යන්න ය. 

භරතමුනි විසින් අවනද්ධ භාණ්ඩ හැඳින්වීම සඳහා පුෂ්කර හෙවත් පෞෂ්කර යන වචනය ද යොදා ඇත.

තතං තන්ත්‍රීකෘත ඥේයමවනද්ධං තු පෞෂ්කරම්/

ඝනං තාලස්තු විඥේයඃ සුෂිරෝ වංශ උච්‍යතේ // 2 // (The Natyasastra, xxviii . 2)

නාට්‍යශාස්ත්‍රයේ මෙන් ම අභිනව ගුප්ත විසින් රචිත නාට්‍යශාස්ත්‍ර ටීකාවේ ද අවනද්ධ භාණ්ඩ යන්නට ‘හමින් වැසුණු’ යන අර්ථය දී ඇත(The Natyasastra, xxxiv . 23). එසේ ම ඇතැම් විද්වත්හු ‘අවනද්ධ භාණ්ඩ’ යන්නට පර්යාය රූපයක් ලෙස විතත ශබ්දය ද යොදා ඇතැ යි ලාල්මණි මිශ්‍ර (1973, p.16) පවසයි.

අවනද්ධ භාණ්ඩයක ප්‍රධාන කම්පක ද්‍රව්‍යය සත්ත්‍ව සම ය. කඳ එහි අනුනාදකය වෙයි. අඝාතයක්, ඇතිල්ලීමක් වැනි ක්‍රියාවක් නාදය ඉපදවීමට හේතු කාරක වන්නකි. මේ අනුව, ‘සමකින් ආවරනය කර-ගන්නා ලද මැද කුහර සහිත වස්තුවක හම දණ්ඩක් අධාරයෙන් හෝ අතින් හෝ ආඝාත කිරීමෙන් හෝ ඇතිල්ලීමෙන් හෝ නාදයක් උපදවා-ගත හැකි භාණ්ඩ අවනද්ධ භාණ්ඩ’ ලෙස නිර්වචනය කළ හැකි ය.

අවනද්ධ භාණ්ඩ සම්බන්ධ ව ප්‍රධාන කොටස් දෙකකි 

1 මූලික කම්පක පදාර්ථය

2 අනුනාදකය

නාදය උත්පාදනය පිණිස හේතුකාරක වන නැතහොත් නාද උත්පාදනය සඳහා ආඝාතය  හෝ ඇතිල්ලීම හෝ සිදු කෙරෙන පෘෂ්ඨය මූලික කම්පක පදාර්ථය වන අතර එසේ උත්පාදනය වන ධ්වනිය වර්ධනය කෙරෙන්නා වූ කොටස අනුනාදකය වෙයි. යම් සංගීත භාණ්ඩයක් අවනද්ධ හාණ්ඩයක් ද යන්න නිර්ණය කිරීම සඳහා ඉහත මූලික කොටස් වෙන් වෙන් වශයෙන් හඳුනා-ගැනීම වැදගත් වෙයි. මෙහි දී මූලික කම්පක පදාර්ථය සත්ත්ව සමක් වන අතර අනුනාදකය එම සම සවි කෙරෙන කඳ වෙයි. මෙම කඳ මධ්‍යය කුහර සහිත වීම වැදගත් වෙයි. සාමාන්‍ය අවනද්ධ භාණ්ඩ විග්‍රහයට අනුව මූලික කම්පක පදාර්ථය ලෙස සත්ත්ව සම යොදා-ගැනුනත් කාර්මීකරණය වුණු වර්තමන සමාජයෙහි මේ සඳහා ප්ලාස්ටික් වැනි කෘත්‍රිම ව සකස් කෙරුණු තුනී පටලයක් යොදා-ගැනේ. විශේෂයෙන් ම බටහිර රටවල මේ තත්ත්වය දැකගත හැකි වුව ද ශ්‍රී ලංකාව භාරතය වැනි රටවල භාණ්ඩ නිර්මාණයේ දී මෙවැනි කෘත්‍රිම ද්‍රව්‍යයක් මුහුණත ආවරණය කිරීම පිණිස හාවිත නොකෙරෙයි.


 

1 Comments

  1. මේ ලිපියට බොහෝම ස්තූතියි සර්. ප්‍රයෝජනවත් වුනා

    ReplyDelete
Previous Post Next Post