අවනද්ධ භාණ්ඩ නාමකරණයෙහි පවතින විෂමතා

අවනද්ධ භාණ්ඩ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මතු වන ප්‍රධාන ගැටලුවක් නම් භාණ්ඩ නාම සම්බන්ධ ව පවතින ව්‍යාකූලතාව යි. ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් හා ඇතැම් නාම සම්බන්ධයෙන් විවිධ මතවාද ගොඩ නැගී තිබීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇත. එක ම නාමය විවිධ භාණ්ඩවලට යොදා-තිබීමත්, එක ම භාණ්ඩය සඳහා විවිධ නාම යොදා-තිබීමත්, එසේ ම අවිචාරයෙන් භාණ්ඩ නාම යොදා-තිබීමත් සුලභ ව දක්නට ලැබෙන කරුණකි.


රූපය 1 - අවනද්ධ භාණ්ඩ

සමකින් ආවරනය කර-ගන්නා ලද මැද කුහර සහිත වස්තුවක හම දණ්ඩක් අධාරයෙන් හෝ අතින් හෝ ආඝාත කිරීමෙන් හෝ ඇතිල්ලීමෙන් හෝ නාදයක් උපදවා-ගත හැකි භාණ්ඩ අවනද්ධ භාණ්ඩ’ ලෙස නිර්වචනය කළ හැකි ය.

 
බෙරය යන වදන ශ්‍රී ලාංකේය සංගීත භාණ්ඩ ඉතිහාසය තුළ සුලභ ව ම දක්නට ලැබෙන වදනකි. ගැට බෙරය, යක් බෙරය, කුම්භ බෙරය, පොකුරු බෙරය, මිහිඟු බෙරය, දඬු බෙරය, ගස් බෙරය ආදී වශයෙන් ‘බෙරය’ යන්න තවත් වචනයකට පර්යාය ව යෙදී ඇත. සාමාන්‍ය ශ්‍රී ලාංකේය ව්‍යවහාරයට අනුව ප්‍රධාන වශයෙන් බෙරය යන්න මුහුණත සමකින් ආවරණය කර ඇති හා එම සම කම්පනය කිරීමෙන් නාදයක් උපදවා-ගන්නා භාණ්ඩ සඳහා යොදා-ගෙන ඇත. එහෙත් ඇතැම් විට බෙරය යන වදන අවනද්ධ භාණ්ඩ සඳහා පමණක් නො ව, ඝන භාණ්ඩ සඳහා ද භාවිතා කෙරෙන බව ශ්‍රී ලාංකේය සංගීත භාණ්ඩ ඉතිහාසයේ සඳහන් සංගීත භාණ්ඩ විශ්ලේෂණය කිරීමේ දී පෙනී යයි. ගස් බෙරය, කඳ බෙරයහා දඬු බෙරය මෙහි දී උදාහරණ ලෙස දැක්විය හැකි . ගස් බෙරය වශයෙන් හඳුන්වා ඇත්තේ ආඝාත කිරීමේ දී යම් ධ්වනියක් ලැබෙන සේ ඇතුළත කුහර සහිත වූ ගසකට ය. කඳ බෙරය යනු ගසකින් කපා වෙන් කර-ගත් කඳක් හෑරීමෙන් සකසා ගනු ලබන්නකි. දඬු බෙරය ද ඒ හා සමාන වූවකි. මේවායේ මුහුණත් ආවරණය වුණු සම් නැත. එසේ ම ආඝාත කරනුයේ කඳට ය. එනම් මූලික කම්පක පදාර්ථය කඳ ය. එමනිස ගස්බෙරය, කඳ බෙරය, දඬුබෙරය වශයෙන් මේවා නාමකරණය කොට තිබුණ ද මේවා අවනද්ධ කුලයට අයත් භාණ්ඩ නො ව ඝන  කුලයට අයත් භාණ්ඩ ය. 
රූපය 2 - දඬු බෙරය

සුමංගල ශබ්දකෝෂයේ (සෝරත හිමි 1999) බෙර’ යන්න අර්ථ නිරූපණය කර ඇත්තේ භේරි නම් වාද්‍ය භාණ්ඩය ලෙසට ය. භේරි යනු පුරාණ සංස්කෘත වදනකි. පුරාණයේ භේරි යන වදන විශාල කේත්‍වාකාර හැඩයක් ගත් භාණ්ඩයක් සඳහා යොදා ඇත.

රූපය 3 - භේරී

ශ්‍රී ලාංකේය ව්‍යවහාර භාෂාව තුළ ද භේරි යන වදන යෙදී ඇත. ‘
බෙර හඬ’ යන අරුතින් භේරි නාදය යන්න ශ්‍රී ලාංකේය ග්‍රන්ථ තුළ දක්නට ලැබෙන යෙදුමකි. එහෙත් භාරතය තුළ පසු කාලීන ව භේරී යන වදන විශාල කේත්‍වාකාර හැඩයක් ඇති ඒක මුඛ අවනද්ධ භාණ්ඩයකට සේ ම දිග ට්‍රම්පට් සඳහා ද යොදා ඇත(Deva 1987). එසේ ම භාරතීය ඇතැම් ග්‍රන්ථයන්හි මෙය ද්වි මුඛ අවනද්ධ භාණ්ඩයක් ලෙස ද විස්තර කර ඇත (මරාඨේ, 1991). ඉන්දියානු සංස්කෘතිය ඉන්දුනීසියාව තුළ ව්‍යාප්ත වීම අධ්‍යයනය කිරීමේ දී ද භේරි යන නාමය ද හමු වෙයි. එහෙත් ‘භේරි’ යන්න ඉන්දුනීසියාවේ දී විස්තර වන්නේ ලෝහ තලියක් (Metallic gong)  ලෙස ය (Deva, 1987)
රූපය 4 - ලෝහ තාලිය

‘බෙර හඬ’ යන අරුතින් භේරි නාදය යන්න ශ්‍රී ලාංකේය ග්‍රන්ථ තුළ දක්නට ලැබෙන යෙදුමකි. එහෙත් භේරී යන වදන සඳහා විවිධ රටවල විවිධ අර්ථකථන දී තිබීමෙන් එයින් කුමන භාණ්ඩ වර්ගයක්  හඳුන්වන්නේ ද යන්න පිළිබඳ ව නිගමනයකට පැමිණීමේ දී ව්‍යාකූලතා පැන නගියි.

ශ්‍රී ලාංකාවේ විවිධ ප්‍රදේශවල භාවිත නර්තන හෝ වාදන සම්ප්‍රදායනට අනුව බෙරය යන්න විවිධ අර්ථ සහිත ව හැඳින්වෙන අවස්ථා ද දක්නට ඇත. උඩරට ප්‍රදේශයේ දී බෙර වාදන ශිල්පීන් හා නර්තන ශිල්පීන් බෙරේ ගහනවා යනුවෙන් ව්‍යවහාර කිරීමේ දී අදහස් කෙරෙන්නේ ගැටබෙර වාදනය යි. මෙසේ ම පහතරට දී මෙමගින් පහතරට බෙරය හෙවත් යක් බෙරය පිළිබිඹු කෙරෙයි. මෙවැනි ව්‍යවහාර ඒ ඒ ක්ෂේත්‍ර තුළ සිදු වන සංනිවේදන කාර්යයෙහි ලා එතරම් ගැටලු සහගත නොවූවත් විදග්ද සමාජයේ දී ව්‍යාකූලතා මතු කරයි.

Drum යන්න පෙර අපර දෙදිග සංගීතය සම්බන්ධ ව බහුල ව ම දක්නට ලැබෙන වදනකි.  ඉංග්‍රීසියේ යෙදෙන drum යන්න සඳහා ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ (1969) දී ඇති නිර්වචනය පහත ආකාරයෙන් වෙයි. 
Drum- A Musical Instrument of the percussive class consisting of a hollow cylindrical or hemispherial frame of wood or metal, with a ‘head’ of tightly stretched membrane at one or both ends, by the striking of which and the resonance of the cavity the sound is produced.

මෙයට අමතර ව සිලින්ඩරාකාර ආකෘතියක් ඇති භාජනයකට ද යන්ත්‍ර වැනි දේවල සිලින්ඩරාකාර කොටස්වලට ද drum යන වදන ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝශයෙහි යොදා ඇත.  

ලී කොටයක මැද හාරා ඉවත් කර නිර්මාණය කොට ඇති slit drum සිලින්ඩරාකාර හැඩයක් ගත් ඝන භාණ්ඩයකි. Drum යන්න අවනද්ධ භාණ්ඩයන්ට අමතර ව සිලින්ඩරාකාර හැඩයක් ගත් වස්තුවකට ද යෙදෙන බැවින් slit drum යන්නෙන් අවනද්ධ භාණ්ඩයක් ම හඟවෙනවා යැ යි ස්ථිර ව ම පැවසිය නො හැකි ය. එය සිලින්ඩරාකාර හැඩයක් ගත් ඝණ භාණ්ඩයක් ද විය හැකි ය. එහෙත්  slit drum යන්න කඳ බෙරය වශයෙන් සිංහලයට පරිවර්තනය කිරීමේ දී බෙරය යන වදනේ ශ්‍රී ලාංකේය භාවිතයට අනුව එයින් අවනද්ධ භාණ්ඩයක් ම අරුත් ගැන්වෙයි. Slit drum හෝ කඳ බෙරය යනු වර්තමාන භාණ්ඩ වර්ගීකරණයට අනුව අවනද්ධ භාණ්ඩයක් නො ව ඝන භාණ්ඩයක් ම බව පැහැදිලි ය.


රූපය 5 - පැපුවා නිව් ගිනියා ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති කඳ බෙරය(slit drum)

අණ බෙර, රණ බෙර, වද බෙර හා මිනී බෙර ආදිය බෙර වර්ග නො ව බෙර වාදන අවස්ථා වෙයි. අණ බෙරය හැරුණු විට අනෙක් අවස්ථාවන්හි දී බෙර වර්ග කීපයක් වාදනය කෙරෙයි. ශ්‍රී ලංකාවේ දී වද බෙර හා මිනී බෙර සඳහා දවුල හා තම්මැට්ටම යොදා-ගැනෙන අතර රණ බෙර සඳහා දවුල හා තම්මැට්ටමට අමතර ව තව විශාල ප්‍රමාණයක් අවනද්ධ භාණ්ඩ මෙන ම ඝන භාණ්ඩ හා සුෂිර භාණ්ඩ ද වාදනය කොට ඇත (ඤාණවිමල හිමි 1960). මේ අනුව ඉහත සඳහන් නාමයන් යම් අවනද්ධ භාණ්ඩයක් සඳහා භාවිත කර නොමැති බවත්, වාදන අවස්ථාව සඳහා යොදා-ගෙන ඇති පොදු නාමයන් බවත් පැහැදිලි ය.

ආශ්‍රිත ග්‍රන්ථ

  • කුලතිලකල  සී. ද එස්. (1974). ලංකාවේ සංගීත සම්භවය. කොළඹ: සීමාසහිත ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම 
  • ඤාණවිමල හිමි, කිරිඇල්ලේ. (සංස්.).(1960). කුවේනි සිංහබා හා දඹදෙණි අස්න. කොළඹ: එම්. ඩී. ගුණසේන සහ සමාගම
  • මරාඨේ, එම්. බී. (1991). තාල් වාද්‍ය ශාස්ත්‍ර. ග්වාලියර්: ශර්මා පුස්තක් සදන්. 
  • සෝරත හිමි, වැලිවිට.(සංස්.). (1999). සුමංගල ශබ්දකෝෂය (තුන් වන මුද්‍රණයල ප්‍රථම භාගය). කොළඹ: ඇස්. ගොඩගේ සහ සමාගම
  • Deva,B. C.(1987).Musical Instruments of India: Their History and Development(2nd ed.):Munshiram Manoharlal Publishers
  • The Oxford English Dictionary, vol III. Oxford University PressT
















Post a Comment

Previous Post Next Post