ප්‍රාථමික මානවයා කෑ ගැසීම, අත්ලෙන් අත්ල තැළීම, පොළොවේ අඩි හැප්පීම ආදී විවිධ ස්වාභාවික ශාරීරික ක්‍රියා මගින් කිසියම් හඬක් උපදවා-ගත්තේ ය. පසු කලෙක මේ ක්‍රියාව සරල රිද්මයකට අඩි පොළොවේ ගැටීම, දෙඅත් එකට ගැටීම, දෙඅතින් පපුවට, උදරයට හා කලවා ප්‍රදේශයට ආදියට ආඝාත කිරීම ආදී දේ දක්වා වර්ධනය විය. අග්නිදිග ආසියාවේ සොලමන් දූපත් වාසීන් කණ්ඩායම් ගැසී පොළොව මත අඩි හප්පමින් ශබ්ද උපදවා-ගැනීමේ ක්‍රියාව මෙලෙස ඇති වූවකි (Midgley 1976, p.93). මේ සරල ක්‍රියා උපයෝගි කර-ගෙන නර්තන හා ගායන සඳහා සහාය වීමටත්, තාලය පවත්වා-ගැනීමටත් ඔවුන්ට හැකි විය. මෙමගින් කාලය ප්‍රායෝගික ව බෙදා-දැක්වීමට ඔවුහු පුරුදු වූහ. ගායනයන් හා නර්තනයන් කාලයේ බෙදා-දැක්වීම හා මුහු කර-ගැනීමේ වඩාත් ගැඹුරු සිද්ධාන්තයන් ගේ මුල් ම බීජයන් මෙසේ ඔවුන් ගේ සිත් තුළ ක්‍රමයෙන් තැන්පත් විය.
ස්වාභාවික පරිසරයෙහි නිරන්තරයෙන් සිය නෙත ගැටෙන ඝන වස්තූන් කෙරෙහි විමසිලිමත් වූ ආදි මානවයා, ඝන වස්තුවකට ආඝාතයෙන් විවිධ ධ්වනි රටා උපදවා-ගත හැකි යැ යි අවබෝධ කර-ගත්තේ ය. ඕස්ට්‍රේලියාවේ හා අප්‍රිකාවේ ගෝත්‍රික ජනයා දඬු කැබලිවලින් පොළොවට තට්ටු කිරීමෙන්, ඇට සහිත වියළි කරල් සෙලවීමෙන්, මද රහිත ඝන කටුවලට තට්ටු කිරීමෙන් විවිධ නාදයන් උත්පාදනය කර-ගත් බව සඳහන් වෙයි(Midgley 1976, p. 92,112,128). මේ ආකාරයට ඝන වස්තූ එකිනෙක ඝට්ටනයෙන් උත්පාදනය වන ශබ්දය රිද්මය ප්‍රකාශ කිරීමේ මහඟු ක්‍රමයක් බව අවබෝධ කර-ගැනීමට ඔවුන්ට හැකි විය. මේ හැඟීම ඔස්සේ යමින් තම නර්තන හා ගායන සඳහා රිද්මය ප්‍රකාශ කිරීමට ඝන වස්තූ උපයෝගි කර-ගැනීමට ඔවුහු යුහුසුලු වූ හ. මේ ආකාරයට රිද්මය ප්‍රකාශ කිරීම උදෙසා ආදි මිනිසා සිදු කළ ක්‍රියාකාරකම් අවනද්ධ භාණ්ඩ බිහි වීම කෙරෙහි මූලික ව ම බලපා ඇත (Krishnaswami 1967, p.9). මානවයා ගේ ස්වාභාවික ක්‍රියකාරකම් පාදක කොට බිහි වුණු මුල් ම වාද්‍ය භාණ්ඩය ඝන වාද්‍ය භාණ්ඩයක් යැ යි සිතීම වඩාත් තර්කානුකූල ය (Deva 1987). ප්‍රාථමික මට්ටමේ ඝන වාද්‍ය භාණ්ඩ ස්වභාවයේ ම පැවතීම මේ අදහස සාධාරණීකරණය වීමට හේතු වෙයි. ප්‍රාථමික මිනිසා ගෙඩිවල කටු ද, ඇට වර්ග හා ගල් ද විවිධ භාණ්ඩ නිපද වීම සඳහා භාවිතා කර ඇත. මැද හිස් කළ ගෙඩියක පොත්ත වියළා ඒ තුළට කුඩා ඇට වර්ග දමා සෙලවීමෙන් විවිධ නාද උපදවා-ගැනීමට ඔවුහු සමත් වූ හ. සිදුරු සහිත උණ ගස්, මී හරක් අං ආදිය ඔවුන් ගේ ප්‍රාථමික භාණ්ඩ අතර විය.
නිරන්තරයෙන් තමා අවට පැවති ස්වාභාවික වස්තුවලින් අලුත් දේ සොයා-ගැනීම ආදි මානවයා ගේ චර්යා රටා දෙස විමසිලිමත් වීමේ දී බහුල ව ම පෙනෙන කාරණාවකි. ගල් දෙකක් එකට ගැටීමෙන් ගින්දර නිපදවා-ගැනීම මේ සඳහා සරල උදාහරණයකි. මේ ආකාරයට ස්වාභාවික පරිසරය පිළිබඳ විමසිලිමත් වූ ආදි මානවයා ගේ තවත් සොයා-ගැනීමක් අවනද්ධ භාණ්ඩවල උපතට මුල් වූයේ යැ යි සැලකිය හැකි ය.
ඇලක් හෝ දොලක් තරණය කිරීම පිණිස ගසක කඳක් ඉවුරු අතරට දමා සාදා-ගන්නා ලද ඒදණ්ඩක් මත පය ගැටීමේ දී නිකුත්වන නාදය, එම කොටය ම පොළොව මත තබා පය ගැටීමේ දී නිකුත් වන නාදයට වඩා වැඩි අනුනාදී ස්වභාවයකින් යුක්ත වීම මෙන් ම, බොල් පොළොවක් මත ගමන් කිරීමේ දී අනුනාදී හඬක් නිකුත්වීම කෙරෙහි ද විමසිලිමත් වූ මානවයාගේ සිත තුළ අනුනාදකයක් පිළිබඳ සරල අදහසක් ඇති වෙන්නට ඇත. මේ අදහස ඔස්සේ යමින් පොළොව මත සෑදූ වළක් මත ලෑලි අතුරා ඒ මත පාද ඝට්ටනයෙන් අනුනාදී හඬක් නික්මෙන බවත්, එය තම නර්තනයන් හා ගායනයන්හි දී රිද්මය පවත්වා-ගැනීම පිණිස යොදා-ගත හැකි මහඟූ උපක්‍රමයක් බවත් ක්‍රමයෙන් අවබෝධ කර-ගත්තේ ය. මේ ආකාරයට සරල ක්‍රියා තුළින් යම් ශබ්දයක් උපදවා රිද්මය ප්‍රකාශ කිරීමේ ක්‍රමය පොළොවේ හෑරූ වළක් මත ලෑලි අතුරා ඒ මත පාද ගැටීම දක්වා වර්ධනය විය. මලයාසියාව, ඉන්දුනීසියාව, ඈත පෙරදිග රටවල් හා ඇතැම් අප්‍රිකානු ගෝත්‍රික ජනයා අතර අද පවා භාවිතා වනු දක්නට ලැබෙන stamping pit නමින් හඳුන්වනු ලබන ඉහත සඳහන් ආකාරයේ ක්‍රමය ආදි මිනිසා බොල් පොළොවක් මත හෝ ඒදණ්ඩක් මත හෝ ගමන් කිරීමේ දී ශ්‍රවණය වුණු ශබ්දය පිළිබඳ ව නිර්මානශීලී මනසකින් හෙලූ බැල්මක ප්‍රතිඵලයක් විය හැකි ය.
වර්තමාන ගවේෂණවලට අනුවත්, ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුවත් ලොව පැරණි ම සංගීත භාණ්ඩ නියැන්ඩර්තාල් මානවයා ගේ අවසාන පරම්පරාව සහ නව මානවයා ගේ මුල් පරම්පරාව එකට විසූ අයිස් යුගය හෙවත් අපර පෑලියෝලිතික යුගයට අයත් ගුහාවකින් සොයා ගත් මැමත් ඇත් දළින් නිම වූ නලාවකි සුෂිර භාණ්ඩ වර්ගයට අයත් නලා වර්ගයකි. එහෙත් ලොව පැරණිතම භාණ්ඩ වර්ගය ඝන භාණ්ඩ යැ යි මෙතෙක් විදවතුන් දරන ආකල්පය ද විමසුමට භාජනය කළ යුතු කරුණකි. කිසිදු නිර්මාණාත්මක ක්‍රියාවලියකින් තෙර ව ස්වභාවයේ පවතින ඝන වස්තූන් ඝන භාණ්ඩ යටතේ වර්ගීකරණය කළ හැකි බව පැහැදිලි ය. මේ අනුව ලී කැබලි, ලෝහ කැබලි ආදී සරල ද්‍රව්‍යයන් පවා ඝන භාණ්ඩ වන බැවින් ලොව පැරණිතම සංගීත භාණ්ඩ ඝන භාණ්ඩ යැ යන අදහස තවදුරටත් සාධාරණ ය. එසේ ම දැනට ලැබී ඇති පුරා විද්‍යාත්මක සාධක අනුව මිනිසා ගේ නිර්මාණාත්මක ක්‍රියාවලියකින් පසු ව ද්විතියික ව නිපැද වුණු මුල් ම සංගීත භාණ්ඩ නියැන්ඩර්තාල් සානුවෙන් හමු වී ඇති සුෂිර භාණ්ඩ යැ යි පැවසීම ද සාධාරණ ය.
අවනද්ධ භාණ්ඩ ඉතිහාසය කෙදිනක ආරම්භ වූයේ දැ යි ස්ථිර ව ම පැවසීමට තරම් ප්‍රමාණවත් සාධක මෙතෙක් ලැබී නොමැති මුත් මේ සඳහා ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති බව පැහැදිලි ය. ස්වාභාවික සිදුවීමක් නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වුණු stamping pit සංසිද්ධිය අවනද්ධ භාණ්ඩ උප්පත්තියේ මුල් ම වස්තු බීජය වී යැ යි සැලකිය හැකිය. පොළොවේ වලක් හාරා එය මත ලෑලි හෝ එවැනි දෙයක් අතුරා නිර්මාණය කර-ගන්නා මෙය මත පාද ඝට්ටනයෙන් කිසියම් රිද්මීය ධ්වනි මාලාවක් ලබා-ගැනීමට අපේක්‍ෂා කර ඇත. කාලයා ගේ ඇවෑමෙන් මෙහි ලී වෙනුවට සත්ත්ව සමක් ආදේශ වී පාදයෙන් ඝට්ටනය කිරීම වෙනුවට ලී දණ්ඩක් වැනි යමකින් ආඝාත කිරිම දක්වා වෙනස් විය. මෙවැනි භාණ්ඩ භූමිදුන්දුභි නමින් භාරතීය වේද ග්‍රන්ථයන්හි සඳහන් ව ඇත. ඉන්දීය ලිඛිත ඉතිහාසගත පැරණිතම අවනද්ධ භාණ්ඩය භූමිදුන්දුභි ලෙස සැලකිය හැකි බව ස්වාමි ප්‍රඥානන්ද (1965, p.77) පවසයි. පොළොව මත හෑරූ වළක විවෘත මුහුණ, එය වටේ කූඤ්ඤ ගසා සවි කරන ලද සත්ත්‍ව සමක ආධාරයෙන් වසා-ගැනීමෙන් සාදා-ගන්නා ලද භාණ්ඩය භූමිදුන්දුභි ලෙස වේදයේ සඳහන් වෙයි. මේ සඳහා හරක් හම් එහි ලෝම ඉවත් නො කර ම යොදා-ඇත. බ්‍රාහ්මන යුගයේ දී සත්ත්‍ව වලිගය භාණ්ඩ වාදනය පිණිස යොදා-ගෙන ඇත. ප්‍රබල හා ගැඹුරු නාදයක් ධ්වනිත වන මෙය සංගීතමය කර්තව්‍යයකට වඩා සතුරු ආක්‍රමණයක අනතුරු ඇඟවීමක් දැක්වීමට භාවිතා කොට ඇත (Prajnanananda 1965, p.77). භූමිදුන්දුභිය මහාව්‍රත යාගයන් සඳහා වාදනය කෙට ඇත. ආදි බොහෝ සංගීත භාණ්ඩ මේ ආකාරයට සංගීතමය කර්තව්‍යයන්ට මෙන් ම සංනිවේදන උපකරණයක් හා තමාට බැහැරින් පැමිණෙන උපද්‍රවයන් ගෙන් ආරක්‍ෂා වීමේ උපකරණයක් ලෙස ද යොදා-ගෙන ඇත. ලොව මුල් ම ශිෂ්ටාචාර තුළ දියුණු තත්ත්වයේ අවනද්ධ භාණ්ඩ භාවිතා කළ බවට පුරා විද්‍යාත්මක සාධක ලැබී තිබීමෙන් මිනිසා ශිෂ්ට වීමටත් පෙර සිට ම යම් යම් අවනද්ධ භාණ්ඩ භාවිතා කළ බව සිතිය හැකි ය. මෙතෙක් ලැබී ඇති පුරා විද්‍යාත්මක සධකයනට අනුව අවනද්ධ භාණ්ඩ ඉතිහාසය නව පාෂාණ යුගය තෙක් ඇතට දිව යයි. වාර්තා වී ඇති පැරණිතම අවනද්ධ භාණ්ඩය ක්‍රි. පූ. 6000තරම් පැරණි විය හැකි යි.
__________________________________________________________
ආශ්‍රිත ග්‍රන්ථ: