අවනද්ධ භාණ්ඩ ඉතිහාසය
ලොව ඇති වුණු මුල් ම අවනද්ධ භාණ්ඩ වර්ගය ඒකමුඛ අවනද්ධ භාණ්ඩ ය. මෙහි ප්‍රාථමික ම අවස්ථාව පොළොවේ හෑරූ වලක් මත සත්ත්ව සමක් කූඤ්ඤ ආධාරයෙන් සවි කර ගැනීමෙන් නිර්මාණය වූ භූමිදුන්දුභී ලෙස වේද ග්‍රන්ථවල සඳහන් වන භාණඩය වෙයි.
තම සංගීතාත්මක අවශ්‍යතාවන් මෙන් ම සංනිවේදන කාර්යයන් ඒකමුඛ අවනද්ධ භාණ්ඩ තුළින් සපුරා-ගැනීමට නොහැකි වන කාලය එළඹෙන තෙක් ම ඔවුන් ඒකමුඛ අවනද්ධ භාණ්ඩයන් ගෙන් ඔබ්බට යාමට නොසිතූ හ. ද්විමුඛ අවනද්ධ භාණ්ඩවල ආදිතමය සිලින්ඩරාකාර අවනද්ධ භාණ්ඩ ය. ගස් කඳන් පෙරළා එහි මැද කුහරයක් සාදා, විවෘත මුහුණු මත හම් අතුරා ගැනීමෙන් වඩාත් පහසුවෙන් සිලින්ඩරාකාර ද්වි මුඛ අවනද්ධ භාණ්ඩ නිර්මාණය කරගත හැකි ය. අද පවා මේ ආකාරයේ විශාල සිලින්ඩරාකාර අවනද්ධ භාණ්ඩ ඇතැම් ගෝත්‍රික ජනයා අතර භාවිතා වෙයි.
රිද්මය පවත්වා-ගැනීමේ අරමුණින් වාදනය කෙරෙන භාණ්ඩ වන අවනද්ධ භාණ්ඩ හා ඝන භාණ්ඩ අතුරින් ලොව මුලින් ම පහළ වූයේ කුමන භාණ්ඩ වර්ගය දැයි ස්ථිර ව ම පැවසිය නොහැකි වුව ද ඝන භාණ්ඩ අවනද්ධ භාණ්ඩවලට ප්‍රථමයෙන් ඇති වූයේ යැ යි සිතිය හැකි ය. රිදමයක් ලබා-ගැනීමේ අරමුණින් හෝ කිසියම් ශබ්දයක් නිපදැවීමේ අරමුණින් හෝ ඝන භාණ්ඩ යටතේ වර්ගීකරණය කළ හැකි භාණ්ඩ අනාදිමත් කාලයක සිට මිනිසා භාවිතා කර ඇත. මේ පිළිබඳ අදහස තම ශරීරයට ම ආඝාත කිරීමෙන් නැඟෙන ශබ්දය ශ්‍රවණය කිරීමෙන් ලබා-ගෙන ඇති බව සිතිය හැකි ය. අදටත් ලොව ඇතැම් ගෝත්‍රික ජනයා විසින් සිදු කරනු ලබන තම උදරයට, කලව ප්‍රදේශයට ආදියට ආඝාත කිරීමෙන් යම් ශබ්දයක් උපදවා-ගැනීමේ ක්‍රියාව ආදි මිනිසා රිද්මය පවත්වා-ගැනීම පිණිස තමා ගේ ම ශරීරයට ආඝාත කිරීමේ ක්‍රියාවෙහි ම ශේෂ වූවකි.
මිනිසා පරිසරයෙහි තමා අත් විඳින දේ තුළින් විවිධ ශබ්ද උපදවා-ගැනීමට උත්සාහ ගත්තේ ය. කුහර සහිත ගස් කඳන්වලට තට්ටු කිරීමෙන් විවිධකාර නාද නිපදවිය හැකි බව අත් දුටු ඔවුහු කුහරයේ ප්‍රමාණය මත මෙය රඳා පවතින බව කල් යෑමේ දී වටහාගත්හ. ගස් බෙනයක විවෘත මුහුණ මත හමක් අතුරා එය මත ආඝාත කිරීමෙන් අනුනාදී හඬක් උපදවා-ගැනීමට ඔවුහු ක්‍රමයෙන් හුරු වූහ. අවනද්ධ භාණ්ඩයක මූලික අවශ්‍යතාව වන අනුනාදකය (Resonator) පිළිබඳ මුල් ම අදහස ගස්වල කුහර තුළින් නැගෙන අනුනාදී හඬ ශ්‍රවණය කිරීමෙන් ලැබී යැ යි පී.ශම්බමූර්ති (1957, p.2) සඳහන් කරයි. ගස් බෙරය හා ගස් බෙනයක් මත ඇතිරූ සත්ත්‍ව සමකට ආඝාත කිරීමෙන් නාදයක් උත්පාදනය කිරීමේ සංකල්පය ද බෙරයේ උපතට බලපා ඇතැ යි උපකල්පනය කළ හැකි මුත් ඊටත් වඩා ඉතාමත් ස්වාභාවික සංසිද්ධියක් වූ Stamping pit සංසිද්ධිය බෙර නිර්මාණයෙහි ආදිතම සංකල්පය වී යැ යි සිතීම වඩාත් සාධාරණ ය.
මානවවිද්‍යාඥයකු වූ ජේම්ස් හේස්ටිංස්, ගෝත්‍රක ජනයා තුළ පැවති හම් මිටියක් එකට ඔතා එයට කෝටුවකින් තැලීමේ චාරිත්‍රය අවනද්ධ භාණ්ඩයක ආදිතම අවස්ථාව විය හැකි බව පවසයි. බොකු හම් මිටියක් එකට ඔතා-බැඳ එයට ලී කොටුවකින් තැළීම මැලේසියානු ගෝත්‍රිකයන් ගේ චාරිත්‍රයක් විය. චාකෝ (Chako) ඉන්දීය ගොත්‍රිකයෝ ද සිය නර්තනවල දී මෙසේ එකට ඔතා-ගත් බොකු හම් මිටියකට තළති. කෙසේ වෙතත් මේ ආකාරයට හම් මිටියකට කෝටුවකින් තැළීමෙන් ධ්වනියක් උත්පාදනය වේ ද යන්න සැක සහිත ය. මෙසේ සමට තැළීම ධ්වනියක් උත්පාදනය කර-ගැනීමකට වඩා යම්කිසි විශ්වාසයක් මත සකස් වූ චාරිත්‍ර අනුව සිදු කළ ක්‍රියාවක් බව සී. ද එස්. කුලතිලක (1974, පි. 58) පවසයි. අන්දමන් දූපත් ගෝත්‍රිකයන් ගේ නැටුම් භූමිය වටා හිඳගත් ස්ත්‍රීහු යෝනියට හා යටි බඩට කරන තැළීම ද හම් මිටියකට කෝටුවලින් කරන තැළීමකට සමාන ය. ලංකාවේ වැදි ජනතාව අතර ද මෙම චාරිත්‍රය පවතියි. ඔවුන් ගේ කිරි කොරහා යාගයේ දී කෑගසමින් හා නටමින් තම යටි බඩ පෙදෙසට දෑතින් ම තළා ගනිති. වැදි ඇදහීම් අනුව සකස් වූ පැරණි ගෝත්‍රික ලක්ෂණයක් පෙන්නුම් කෙරෙන යටි බඩට තැළීමේ සිරිත නාදයක් උපදවා-ගැනීමේ අරමුණින් සිදු කළා යැයි සිතීම උගහට ය. මෙය කිසිඳු රිද්මයක් ජනිත කරවීමකට වඩා කිසියම් ගෝත්‍රික විශ්වාසයක් පදනම් කර-ගෙන සිදු කරනු ලබන ක්‍රියාවකි (කුලතිලක, පි. 56).
ලෝක ශිෂ්ටාචාරයේ සමාරම්භකයා හෙවත් ලොව ඉපැරණි ම ශිෂ්ටාචාරය ලෙස සැලකිය හැකි යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගා ආග්‍රිත මෙසපොතේමියා ශිෂ්ටාචාරයේ පටන් ඉන් අනතුරු ව බිහි වුණු නයිල් නදී නිම්නයේ මිසර ශිෂ්ටාචාරය මෙන් ම මොහෙන්ජෝදරො හා හරප්පා නගර ප්‍රධාන කොට ගත් ඉන්දු නිම්න ශිෂ්ටාචාර ජනයා දියුණු සංගීත හා නැටුම් කලාවක් භාවිතා කළ බවට පුරාවිද්‍යාත්මක සාධක මගින් හෙළි වෙයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේත්, ලොව අනෙකුත් ශිෂ්ටාචාරයන්හිත් කැනීම්වලින් ඒක මුඛ මෙන් ම ද්වි මුඛ අවනද්ධ භාණ්ඩවල රූ සටහන් හමුවීමෙන් එම යුගය වන විට අවනද්ධ භාණ්ඩ පිළිබඳ ව පැහැදිලි අදහසක් මිනිසා තුළ තුබූ බව පැහැදිලි වෙයි. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ කැනීම්වලින් හමු වී ඇති රූ සටහන් අතර විවිධ ආකාරයේ බෙර වර්ගවල රූප සටහන් ඇත. මේ රූප සටහන් අතර විවිධ ප්‍රමාණයන් ගෙන් යුත් රාමු සහිත බෙර, තිරස් ව තබා ඇති කුඩා ප්‍රමාණයේ සිලින්ඩරාකාර බෙර, පාද සහිත විශාල ප්‍රමාණයේ බෙර හා සිරස් ව එල්ලා ගෙන දෙ අතින් ම වාදනය කරනු ලබන ඒක මුඛ අවනද්ධ භාණ්ඩ ආදිය දැකිය හැකි බව සැක්ස් (1940, p.74)පවසයි. මෙසපොටේමියානු නටඹුන් අතර ඇති කුඩා සිලින්ඩරාකාර අවනද්ධ භාණ්ඩ ක්‍රි.පූ. 3000 තරම් පැරණි ය. සුමේරියානු කැනීම් අතරින් මතු වූ නටඹුන් අතර බෙර වාදක කාන්තා රූපයක් මතු වී ඇත. රාමු ආකාරයේ බෙරයක් වූ මෙය ක්‍රි.පූ. 2000 ට පමණ අයත් යැ යි කාල නීර්ණය කොට ඇත(Deva, 1987, p. 63). මිසරයේ පාරාවෝ රජ පෙළපතේ සොහොන් කොත්වල අභ්‍යන්තරයේ දක්නට ලැබෙන රූ සටහන් අතර බෙර වයන්නන් ගේ රූප ද වෙයි. මේ රූප සටහන් අවුරුදු 5000කට වඩා පැරණි විය හැකි බව පුරා විද්‍යාඥයෝ විශ්වාස කරති.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආදිතම සංගීත භාණ්ඩ පිළිබඳ සාධක ක්‍රි. පූ. 3000 පමණ පැරණි ය. එම නටඹුන් අතරින් නර්තනයේ යෙදෙන හා බෙර වාදනයේ යෙදෙන කාන්තා රූප මතු වී ඇත (Sankaran,1994, p.1.45). දෙපස ම ආවරණය වුණු ද්විමුඛ විශාල අවනද්ධ භාණ්ඩ ද ඉන්දු නිම්න කැනීම් තුළින් මතු වු කාසි වර්ගයක ඇති බව පැවසෙයි(Bisht, p.135). ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මොහෙන්ජෝදාරෝ නටඹුන් තුළින් හමු වී ඇති මුද්‍රා අතර දිග සිලින්ඩරාකාර බෙරයක් දරා සිටින මිනිස් රූපයක් ඇති බව සඳහන් වෙයි. මෙහි බෙරය තිරස් ව බෙල්ලේ එල්ලා-ගෙන වාදනය කරන ස්වරූපයක් ඇති බව බී.සී.දේව (1987, p 71) පවසයි. එසේ ම වර්තමාන මෘදංගම් හැඩ ගත් බෙර ද ඉන්දු නිම්න ශිෂ්ටාචාර කැනීම් තුළින් මතුවී ඇත(Ghosh 1968, p.2).
වෛදික යුගයේ දී අවනද්ධ භාණ්ඩ පූජත්වයෙන් සලකනු ලැබේ. මේ අතුරෙන් දුන්දුභි නැමැති භාණ්ඩය ප්‍රධානත්‍වයක් ගනු ලබයි. දුන්දුභිය වෛදික සාහිත්‍යයේ සංහිතා තුළ නිතර ම හමු වන වචනයකි. දුන්දුභිය යුද්ධය හා සාමය යන කාරණා ද්වය ම සඳහා වාදනය කර ඇත. දීර්ඝ විස්තර නොමැති වුව ද සංහිතාවල සඳහන් වන අනෙකුත් අවනද්ධ භාණ්ඩ නාමයන් නම් ආඩම්බර, ලම්බාර හා වනස්පති යැ යි බී. සී. දේව (1987, p.71) සඳහන් කරයි. එහි වනස්පති විස්තර කර ඇත්තේ ගස් කඳක් මත සෑදූ කුහරය හමක් අතුරා-ගැනීමෙන් සාදා-ගන්නා භාණ්ඩයක් ලෙස ය. ආඩම්බරය යුද්ධ කටයුතු සඳහා භාවිතා කළ භාණ්ඩයකි.
___________________________________________________
ආශ්‍රිත ග්‍රන්ථ
Sambamoorthy, P. (1957). Laya Vadyas. All India Handicraft Board
Hastings, James. Encyclopaedia of Religion and Ethnics-(vol.v). Edinburgh: T.&T. Clark
Curt Sach : The History of Musical Instruments, New York, 1940
Deva, B.C.(1987). Musical Instruments of India: Their History and Development,(2nd revised ed.).
Munshiram Manoharlal Publishers,
Sankaran, Trichy. (1994). The Rhythmic Principle & Practice of South Indian Drumming
Ghosh, Nikhil. (1968). Fundamentals of Raga and Tala with a new System of notation. Bombay: Arun
Sangeethalaya
This comment has been removed by the author.
ReplyDelete