කර්ණාටක තාල පද්ධතියෙහි ප්‍රධාන අංගයෝ සතරකි.
1. අක්‍ෂර කාල
2. අංග
3. ජාති
4. විසර්ජිතම්
අක්‍ෂර කාල
සංගීතයෙහි පවත්නා කාල ප්‍රමාණය ‘කාල’ වශයෙන් කර්ණාටක සංගීතයෙහි හැඳින්වෙයි. මේ සඳහා අක්‍ෂර කාල යන වදන ව්‍යවහාර කෙරෙයි. මෙහි දී කාලය මනිනු ලබන කුඩා ම ඒකකය ලෙස ක්‍ෂණය නම් වූ මිම්මක් භාවිතා කෙරේ. නෙලුම් පත් සියයක් ගෙන එක මත එක තබා ඒවා ඉඳි කටුවකින් සිදුරු කිරීමට ගතවන කාලය ක්‍ෂණ ලෙස හඳුන්වනු ලැබේ (Sangitamakaranda,p.43:52). තාල ශාස්ත්‍රයෙහි කාලය මනිනු ලබන කුඩා ම ඒකකය ක්‍ෂණය ලෙස හඳුන්වා ඒ අනුව ලැබෙන කාල චක්‍රය පහත ආකාරයට ඉදිරිපත් කෙරේ.
ක්ෂණ 8 = ලව 1
ලව 8 = කාෂ්ඨ 1
කාෂ්ඨ 8 = නිමේෂ 1
නිමේෂ 8 = කලා 1
කලා 2 = චතුර්භාග 1
චතුර්භාග 2 = අනු දෘත 1
අනු දෘත 2 = ලඝු 1
ලඝු 2 = ගුරු 1
ලඝු 3 = ප්ලුත 1
අංග යනු තාලයක පිහිටා ඇති කොටස් ය. අංග එක් වීමෙන් තාලයක් බිහි වෙයි. එනම්, තාලයක මාත්‍රා කොටස් කිරීම අංග වෙයි. විවිධ තාලවල නොයෙකුත් මාත්‍රා සංඛ්‍යාවන් ගෙන් සංයුක්ත වුණු කොටස් ඇතුළත් ව ඇත. විවිධාකාර ව යෙදී ඇති මාත්‍රා සංඛ්‍යාවට තාලයේ අංග යැ යි කියනු ලැබේ. කර්ණාටක තාල පද්ධතියෙහි ෂඩාංගයක් භාවිතා වෙයි. ඒවා නම්, අනු ද්‍රැතම්, ද්‍රැතම්, ලඝු, ගුරු, ප්ලුතම්, කාකපාදම් ය.
ෂඩාංගයනට අදාල සංකේත හා අක්‍ෂර කාල ප්‍රමාණය පහත අයුරින් ඉදිරිපත් කළ හැකි ය.
සංකේතය අක්‍ෂරකාල
ද්‍රැතම් O 2
ලඝු 1 4 (ජාති අනුව 3, 4, 5, 7 හා 9 ලෙස වෙනස් වෙයි
ගුරු 8 8
ප්ලුතම් 8' 12
කාකපාදම් + 16
ජාති
යම් කිසි තාලයක අංගයන්හි මාත්‍රා වර්ග කිරීම ජාති යන්නෙන් හැඟවෙයි. තිශ්‍ර හා චතශ්‍ර වශයෙන් ජාති දෙකක් දක්වා ඇත. චතුරශ්‍ර හා ත්‍ර්‍යශ්‍ර යනු මෙහි සංස්කෘත වහර ය. තිශ්‍ර යන්නෙන් තුන යන්න ද, චතශ්‍ර යන්නෙන් හතර යන්න ද හැඟවෙයි. තිශ්‍ර හා චතශ්‍ර එක් වීමෙන් මිශ්‍ර ද, මිශ්‍ර හා චතශ්‍ර එක් වී දෙකෙන් බෙදීමෙන් ඛණ්ඩ ද, ඛණ්ඩ හා චතශ්‍ර එක් වී සංකීර්ණ ද වශයෙන් බිහි වෙයි. ජාති යන්නෙහි අර්ථය හා භාවිතාව පුළුල් ය. කර්ණාටක තාල ශාස්ත්‍රයෙහි අක්‍ෂර කාල ප්‍රමාණය අනුව චතුරශ්‍ර, තිශ්‍ර, මිශ්‍ර, ඛණ්ඩ හා සංකීර්ණ වශයෙන් ජාති පහක් ලැබෙයි.
විසර්ජිතම්
තාලයෙහි අංගයන් තුළ මාත්‍රා ගණින ක්‍රියාව විසර්ජිතම් වෙයි. මෙහි දී මුල් ම ආඝාතිත මාත්‍රාවට පසු ව යෙදෙන මාත්‍රා ගණන් කිරීම විසර්ජිතම් වෙයි. පතාක, කෘෂ්‍ය, සර්පිණී යනුවෙන් මෙය තෙවැදෑරුම් වෙයි.
සප්ත තාල
16වන සියවසේ දී කර්ණාටක සංගීතයේ පියා ලෙස සැලකෙන පුරන්දර්දාස් (1480-1564) තාල හතක් ආධාර කර-ගෙන අලංකාර, ගීත, හා කීර්තන ආදී ප්‍රබන්ධයන් නිර්මාණය කරන්නට යෙදුණි. එයින් පසු විවිධ සංගීතඥයෝ මේ තාල තම ප්‍රබන්ධයන් සඳහා ද යොදා-ගත්තෝ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පුරාණ තාල භාවිතයෙන් ඈත් වී මේ තාලයන් භාවිතයට පැමිණ ඇත. එම තාල සප්ත තාල වශයෙන් වර්තමානයේ දී හඳුන්වනු ලැබේ. සප්ත තාල නිර්මාණය කිරීමේ දී අනුද්‍රැතම්, ද්‍රැතම් හා ලඝු යන අංගත්‍රය පමණක් උපයෝගි කර-ගෙන ඇත. ඉහතින් දැක්වූ සයාංගයේ ගුරු ප්ලුතම් හා කාකපාදම් යන අංගයන් 108 තාල පද්ධතියේ දැක්වෙයි.
සප්ත තාලනාම හා ඒවායේ ආකෘති පහත ආකරයට නිරූපණය වෙයි .
ධ්‍රැව තාලම් 1011
මඨ තාලම් 101
රූපක තාලම් 01
ඣම්පායිතාලම් 1U 1
ත්‍රිපුටයි තාලම් 100
අඨ තාලම් 1100
ඒක තාලම් 1
ජාති භේදය පදනම් කරගනිමින් ලඝුවේ අක්ෂර කාල වෙනස් කිරීම මගින් තාල 35 ක් හා ගති භේදය පදනම් කරගනිමින් තාල 175 ක් දක්වා ඉහත සප්ත තාල විස්තාර වෙයි