පංජාබයේ භවානීදාස් දිල්ලි රාජ සභාවේ රාජකීය කලාකරුවකු ලෙස සේවය කළ ප්‍රතිභා පූර්ණ පඛාවජ් වාදකයෙකි. 18 වන සියවස අග භාගයේ පමණ ජීවත් වූ මොහු පසු ව දිල්ලියේ රාජ සේවය අත හැර නැවත තම දේශයට පැමිණියේ සංගීතය පිළිබඳ ව බොහෝ අත්දැකීම් ද සහිත ව ය. ඔහුගේ කලා කුශලතාව හා දැනුම හේතුවෙන් පංජාබයේ දී බොහෝ ශිෂ්‍යයෝ ඔහු වෙතින් ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමට පැමිණියහ. පඛාවජ් වාදනය පිළිබඳ ව හසල දැනුමකින් සිටි භවානීදාස් තම දැනුම හා අත්දැකීම අධාර කර-ගෙන පංජාබයේ දුක්කඩ නම් වූ ජන අවනද්ධ භාණ්ඩය මත නව වාදන ශෙලියක් බිහි කළේ ය. පඛාවජ්යෙන් වාදනය කරන්නා වූ පද ම දුක්කඩ ආධාර කර-ගෙන වාදනය කරමින් නිර්මාණය කර-ගත් මෙම නව වාදන ශෛලිය ඉදිරියට ගෙන-යෑමට තම ශිෂ්‍යයන් හට පැවරී ය. තබ්ලාව උත්තර භාරතය තුළ ජනප්‍රිය වීමත් සමග ම භවානීදාස් විසින් දුක්කඩ ආධාරයෙන් නිර්මාණය කළ අභිනව වාදන ක්‍රමය ම, එනම් පඛාවජ් පද ම දුක්කඩ මතින් වාදනය කිරීමේ ක්‍රමය තබ්ලාව කරා ද පැමිණියේ ය. මේ ආකාරයට තබ්ලාව මතින් බිහි වුණු අභිනව වාදන ශෛලිය පංජාබ් ශෛලිය ලෙස ප්‍රකට විය.
පංජාබ් ශෛලිය
අනෙකුත් ශෛලීන් ගේ බලපෑමකින් තොර ව ස්වතන්ත්‍ර ව පරිණාමය වුණු පංජාබ් තබ්ලා ශෛලිය හුසේන් බක්ස් හා ඔහු ගේ පුත් ෆකීර් බක්ස් යන දෙදෙනා ගේ පුරෝගාමීත්වයෙන් බිහි වූ ශෛලියකි. පඛාවජය ආශ්‍රයෙන් හා පඛාවජ් පද පදනම් කර-ගනිමින් බිහි වූ හෙයින් පඛාවජ් වාදනයේ දී මෙන් ඇඟිලි හා සම්පූර්ණ අත්ල ම වාදනය පිණිස මෙම ශෙලියේ දී යොදා-ගැනේ. අක්ෂරවල නාද නිෂ්පාදනය, ගණිතය ආධාරයෙන් දුෂ්කර ලයකාරී වාදනය, ථාප් යෙදීම, දුෂ්කර ලයකාරී වලින් යුත් ගත් හා රේලා වාදනය, වමතින් මීන්ඩ් කිරීම හා දකුණතින් අක්ෂර වාදනයේ ඇද්දෙන සුලු භාවය මෙම ශෛලිය තුළ දක්නට ලැබෙන විශේෂත්වයන් ය. පංජාබ් ශෛලිය දිල්ලි ශෛලිය මෙන් කායදා එතරම් බහුල ව වාදනය පිණිස යොදා නොගන්නා අතර මෙම ශෛලියෙහි ප්‍රබන්ධිත කායදා දීර්ඝ වන අතර ඒවා අසීරු ලයවලින් හා රිද්ම රටාවන් ගෙන් ප්‍රබන්ධ වී තිබීම විශේෂයෙන් දක්නට ලැබෙන ලක්ෂණයකි. ගත් හා රේලා වාදනයෙහි විශිෂ්ට භාවයක් පංජාබ් පරපුරේ වාදකයෝ පෙන්නුම් කරති. විවිධ ලයකාරී ප්‍රදර්ශනය මෙන් ම දීර්ඝ ගත්, පරන් හා චක්‍රදාර් බෙහෙවින් වාදනය කිරිම මෙහි විශේෂයෙන් දක්නට ලැබෙයි.
ධතිධාඩ, ධාතීනාඩ, ක්‍රතන්න, ධිංඩත ආදී පද ඛණ්ඩ පංජාබ් ශෛලිය තුළ අධික ව යෙදේ. අනෙකුත් ශෛලීන්ට වඩා වෙනස් ස්වරූපයකින් බැඳුණු අක්ෂර සංයෝජනයක් මෙහි දක්නට ලැබෙයි.