අජරාඩා ගුරුකුලය සහ ශෛලිය


දිල්ලි ගුරුකුලයේ උස්තාද් සිතාබ් ඛාං ගේ ශිෂ්‍යයන් දෙදෙනකු වන කල්ලු ඛාං සහ මීරු ඛාං අජරාඩා ගුරුකුලයේ ආරම්භකයෝ ය.


 

ක්‍රි.ව. 1800 දී පමණ මිරට් ප්‍රාන්තයේ අජරාඩා ග්‍රාමයේ විසූ කල්ලු ඛාං සහ මීරු ඛාං දෙසොහොයුරෝ  දිල්ලියේ උස්තාද් සිතාබ් ඛාං වෙත පැමිණියේ තබ්ලා ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම පිණිස ය. ඔහු වෙතින් තබ්ලා ශාස්ත්‍රය ප්‍රගුණ කළ දෙසොහොයුරෝ ආපසු තම දේශයට පැමිණීමෙන් අනතුරු ව තමන් උගත් ශාස්ත්‍රය ප්‍රායෝගික ව යොදමින් අභ්‍යාසයෙහි යෙදුණෝ ය. තමන් ප්‍රගුණ කළ ශෛලියෙහි නීති රීති තුළ හිඳිමින් සිය මනසේ නැඟෙන නිර්මාණශීලී රිද්ම රටාවන් මුදා හැරීමේ බධාව දුටු දෙසොහොයුරෝ දිල්ලි ශෛලියෙහි මූලික වෙනස්කම් කීපයක් කරමින් නව වාදන ශෛලියක් බිහි කළෝ ය. දිල්ලි ශෛලියෙන් ආභාසය ලැබ, තම නිර්මාණාත්මක හැකියාව හා තබ්ලා ශාස්ත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ද ඇති ව තමන් ප්‍රගුණ කළ ශෛලියෙන් ඉදිරිපත් නොවන්නා වූ රිද්ම රටාවන් හා වාදන ශෛලීන් සොයා-යමින් බිහි කළ මේ ශෛලිය අජරාඩා ශෛලිය නම් වෙයි.

අජරාඩා ශෛලිය

දිල්ලි ශෛලියේ බන්ද් අක්ෂර වාදනය හා චාන්ටිය ආශ්‍රිත වාදන ක්‍රමය ම බොහෝ දුරට අජරාඩා ශෛලිය අනුගමනය කළ ද, අජරාඩා ශෛලිය දිල්ලි ශෛලියේ ම අනුශාඛාවක් ලෙස සැලකීම එතරම් යුක්තිසහගත නො වේ. මන්ද යත්, දිල්ලි ශෛලිය මූලික ව අජරාඩා ශෛලිය බිහි වූව ද මෙම ශෛලි දෙකෙහි බොහෝ වෙනස්කම් පවතින බැවිනි. වාදනයේ දී දකුණු අතේ වෙදැඟිල්ල නාද නිෂ්පාදන කාර්යයෙහි වැඩි වශයෙන් යොදා-ගැනීමත්, විවිධ ඡන්දස් ක්‍රම භාවිතා කරමින් පද වර්ග ප්‍රබන්ධ කිරීමත්, අජරාඩා ශෛලිය දිල්ලි ශෛලියෙන් වෙන් වීමට හේතු වන කරුණු අතරින් ප්‍රධාන ය. දිල්ලි ශෛලියේ දී වෙදැඟිල්ල ඍජු ව ම නාදයක් නිපදවා-ගැනීමට එතරම් යොදා-නො ගන්නා අතර නාද නිෂ්පාදන කාර්යයෙහි සහාය වීමට පමණක් බහුල ව භාවිතා කරනු ලැබේ. දිල්ලි ශෛලියෙහි ‘නා’ අක්ෂරය චාන්ටිය මත දබරැඟිල්ල ආධාරයෙන් පමණක් වාදනය කරන මුත්, අජරාඩා ශෛලියේ දී ‘නා’ අක්ෂරය වෙදැඟිල්ල ආධාරයෙන් ස්‍යාහි මත ද වාදනය කිරීම මෙම ශෛලීන් දෙකෙහි පවතින තවත් එක් ප්‍රධාන අන්තරයකි. 

අජරාඩා ශෛලියේ කායදා බොහෝවක් තිශ්‍ර ජාතියෙන්  ප්‍රබන්ධිත ය. දිල්ලි ශෛලියට සාපේක්ෂ ව අජරාඩා ශෛලියේ කායදා දිගින් වැඩි වන්නා සේ ම තරමක් සංකීර්ණ භාවයකින් ද යුක්ත වෙයි. අජරාඩා ශෛලියේ අනන්‍්‍යතා ලක්ෂණ පිළිඹිබු කෙරෙන  දායං හා බායං සුසංයෝජිත අක්ෂර ඛණ්ඩ මෙහි කායදා තුළ බහුල ව  දක්නට ඇත. දිල්ලි ශෛලියේ මෙන් නො ව ඩග්ගාව (බායං) මීණ්ඩ් කිරීමක් සහිත ව වාදනය කෙරෙයි. වේගවත් ව පද වාදනයේ දී නා අක්ෂරය දබරැඟිල්ලෙන් චාන්ටිය මත වාදනය නොකර වෙදැඟිල්ලෙන් ස්‍යාහි කෙළවර මත ආඝාතයෙන් වේගවත් වූ ඇඟිලි චලනයක් ලබා-ගැනීමේ වාදන ක්‍රමයක් මෙවුහු අනුගමනය කරති. එසේ ම ලය විවිධතා මගින් වඩාත් ආකර්ෂණීය වූ ධ්වනි රටා මෙම ශෛලියේ වාදන තුළින් ශ්‍රවණය කළ හැක. 

ධතකඝෙතක, ධිංනධගින, ධිඟධිනගින වැනි දායං- බායං සම්මිශ්‍රිත අක්ෂර ඛණ්ඩ අජරාඩා ශෛලියේ අනන්‍යතාව පිළිඹිබු කරයි. විශේෂයෙන් ම දහිනාවේ හා ඩග්ගාවේ සුසංයෝජිත පද මෙම ශෛලියේ වාදනයන්ට මාධූර්යයක් ගෙන එයි. කෙසේ වුව ද මෙම ශෛලියෙන් නිපුණත්වයක් ලබා-ගැනීම තරමක් අසීරු ය.

Post a Comment

Previous Post Next Post