ෆරුකාබාද් ග්‍රාමයේ විලයාත් අලී ඛාං ෆරුකාබාද් තබ්ලා පරපුරෙහි ආරම්භකයා ය
ලක්නවු ඝරාණාවේ උස්තාද් බඛ්ෂු ඛාං වෙතින් තබ්ලා ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම උදෙසා ෆරුකාබාද් ග්‍රාමයේ විලයාත් අලි ඛාං පැමිණියේ ය. සාර්ථක ව ශාස්ත්‍රෝද්ග්‍රහනය කළ විලයාත් අලි ඛාං හට තම දියණිය සරණ පාවා දුන් උස්තාද් බඛ්ෂු ඛාං විසින් අනතුරු ව චාරිත්‍රානුකූළ ව දෙනු ලබන දායාදය වශයෙන් ලක්නවු ඝරාණාවේ දුලබ කායදා 12 ක් ඔහු වෙත ප්‍රදානය කරන ලදී. ඔහු එම කායදා අභ්‍යාස කිරීමෙන් වර්ධනය කර-ගත් ශිල්පීයත්වය හා ශාස්ත්‍රීය දැණුම ෆරුකාබාද් නමින් තබ්ලා වාදන ශෛලියක් බිහි වීමෙහි ලා පදනම් විය.
ෆරුකාබාද් ශෛලිය
ලක්නවු ශෛලියට බොහෝ සෙයින් සමානකමක් දක්වන මෙම ශෛලිය ලක්නවු ශෛලියේ තවත් අනුශාඛාවක් ලෙස සලකනු ලැබේ. කෙසේ වුවත් හඬ විහිදී යන ශබ්දාධික පද විශේෂයන් ගෙන් සමන්විත වූ මෙම ශෛලිය ලක්නවු ශෛලිය මෙන් කුලා නොවුණා වූ ද, දිල්ලි මෙන් බන්ද් නොවුණා වූ ද, අතර මැද අවස්ථාවක් ලෙස දැකිය හැක.
ෆරුකාබාද් ඝරාණාවේ රේලා වාදනයේ දී රෞ ලෙසින් හැඳින්වෙන විශේෂ වාදන ක්‍රමයක් අනුගමනය කැරේ. රේලාවක යම් කිසි කොටසක් පමණක් විස්තාර නොකර ප්‍රවාහයක් ඇතිවන ආකාරයට ඉතා අධික වේගයකින් වාදනය කිරීම රෞ ලෙස හැඳින්විය හැකි ය. ගත් වාදනයෙහි ද විශේෂ ප්‍රමුඛත්‍වයක් දක්වන මෙම ශෛලියේ ගත්හි තකතක, ධිරධිර වැනි අක්ෂර සංයෝජන භාවිතය ඉහළ තලයක ඇත. මෙම ශෛලිය ක්ඩාං, ග්ඩාං, ධිරධිරකිටතක, ධෙත්, ධිඟනගධිනතක, තකතක, නගනග ආදී පද ඛණ්ඩ භාවිතයේ විශේෂත්වයක් දක්වයි.
ලක්නවු, බණාරස් හා ෆරුකාබාද් යන ශෛලීන් තූන ම පූරබ් ශෛලිය ලෙස හැඳින්වෙයි. ‘පූරබ්’ යන්න ‘පූර්ව’ යන සංස්කෘත පදයෙන් බිඳී-ආවකි. මෙයින් අදහස් වන්නේ පෙරදිග යන්න ය. ලක්නවු, බණාරස් හා ෆරුකාබාද් යනු දිල්ලි නගරයට පෙරදිගින් පිහිටි ප්‍රදේශ තුනක් මෙන් ම පෙරදිග ඉන්දියවේ පිහිටි ස්ථාන තුනක් වන බැවින් බොහෝ දුරට සමාන වාදන ක්‍රමයන් අනුගමනය කරන මෙම ශෛලි තුන ම පොදුවේ පූරබ් ශෛලිය ලෙස හැඳින්වෙයි.