තාල සංකල්පය

තාල සංකල්පය



 ශ්‍රී ලාංකේය හා භාරතීය සංගීත ක්‍ෂේත්‍රයෙහි තාලයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ‘තාල’ යන වදන භාරතීය සංගීත සම්ප්‍රදාය හා බද්ධ ව පවතින්නක් වුව ද තාල සංකල්පය ලොව විවිධ රටවල විවිධ නම්වලින් හැඳින්වෙන අතිපුරාණයේ සිට භාවිතයේ පවතින්නකි. තාල සංකල්පය සඳහා කිනම් අයුරකින් විග්‍රහයක යෙදුණ ද තාලය යනු කාලය නිරූපනය කිරීමේ තවත් එක් පැතිකඩක් බව ඒ සියල්ල විශ්ලේෂණය කිරීමෙන් මතු කර-ගත හැකි කරුණකි. තාලය කාලය වශයෙන් අවබෝධ කර-ගත යුතු බව අභිනවගුප්ත පවසයි (Kavi, Pade:1964:151:3). සංකල්පීය වශයෙන් කාලයේත් තාලයේත් අන්තරයක් නොමැත. මේ නිසා තාල සංකල්පය කාල සංකල්පය තුළින් ම සංජානනය කර-ගත යුත්තකි

කාලය

කාලය නිර්වචනය කිරීම සඳහා භාවිත කළ හැකි හොඳ ම සහ පහසු ම පාරිසරික සංසිද්ධිය සිදු වීම යන්න ය. කාලය පිළිබඳ ව හැඟිම දැනීමට අවම වශයෙන් අනුක්‍රමික සිදුවීම් දෙකක් පැවතිය යුතු ය.අනුක්‍රමික සිදුවීම් දෙකක් අතර අන්තරය නොහොත් සිදුවීම්වල වෙනස කාල සංජානනයෙහි ලා සරල ඉදිරිපත් කිරීමක් ලෙස දැක්විය හැකි ය.අනුක්‍රමික සිදුවීම් දෙකක් අතර සැම විට ම විරාමයක් පවතියි. මේ විරාමයේ ප්‍රමාණය සිදුවීම් දෙකෙන් සීමා වී ඇත. මේ නිසා සිදුවීම් දෙකක් අතර අන්තරයෙන් කාල සීමාව නොහොත් කාල පරාසය යන ප්‍රමාණාත්මක කාල සංකල්පය බිහි වෙයි.

කාලය යනු සත්‍ය වශයෙන් බෙදීමක් හෝ කොටස් වීමක් හෝ නොවන්නකි. නමුත් මනෝමූලික ව සිදු කෙරෙන කාලයේ බෙදීම නිසා ව්‍යවහාරික ලෝකයේ ද විවිධ බෙදීම් ඇති වෙයි. මේ හේතුවෙන් භෞතික ලෝකයේ ඇති වන ක්‍රියාකාරකම් හා සිදුවීම්වල පුනරාවර්තන බිහි වෙයි. ක්‍රමානුකූල ව පුනරාවර්තනය වීමේ ස්වභාවය ආවර්තිතාව ලෙස හැඳින්වෙයි. ආවර්තිතාව විශ්වයේ එක් මූලික නියමයකි.


 තාල සංකල්පය 

තාල යනු ආඝාත මගින් නිරූපණය වන සංකල්පීය කාලික ආකෘතියකි. තාල සංකල්පය කාලය තුළින් ම සංජානනය කර-ගත යුත්තකි. සිදුවීම්වල අනුක්‍රමික පෙළ ගැසීමෙන් කාලය සංජානනය වන්නේ යම් සේ ද, ආඝාතවල අනුක්‍රමික පෙළ ගැසීමෙන් තාල සංජානනය ඇති වෙයි. කාල හා ක්‍රියා යනු තාලය බිහිවීමට බලපාන ප්‍රධාන සාධක දෙක යි. තාල නිරූපණය කිරීම සඳහා දෑත් භාවිත කරමින් සිදු කෙරෙන හස්ත අභින ක්‍රියා ලෙස හැඳින්වෙයි. ක්‍රියා ආධාරයෙන් කාලය බෙදා දැක්වීමෙන් ඇති වන මිණුම තාල වෙයි (The Sangeetarathnakara, v.3). එනම් ක්‍රියා කාලය හා මුහු කිරීමෙන් ඇති වන මිනුම් හෙවත් මාන තාල බිහිවීමෙහි ලා හේතුකාරක වෙයි. මේ අනුව තාලයක් නිර්මාණය වීම සඳහා හේතු වන තුන් වන සාධකය ද බිහි වෙයි. මේ අනුව තාල බිහි වීමෙහි  හේතු කාරක වන සාධක තුන කාල, ක්‍රියා සහ මාන වෙයි. ක්‍රියා ආධාරයෙන් ඛණ්ඩනය කළ කාලය ආවර්තනය කිරීම තාලයේ ප්‍රායෝගික භාවිතය යි. 

තාල යන වදන  තලය, පතුල යන අරුත් දෙන ‘තල’ මූලයෙන් උත්පන්න වී ඇත . ගීත වාද්‍ය හා නෘත්‍ය ත්‍රිත්වය ම එක ම සංසිද්ධියක් මත පිහිටන බැවින් එම සංසිද්ධිය තාල නම් වෙයි (The Sangeetarathnakara, v.2). තාල යන්න අල්ල යන අරුත ද දෙන ‘තල’ මූලයෙන් උත්පන්න වූ බව අභිනව ගුප්ත පවසයි (Abhinava Bharathi, Natyasastra vol iv, p167,1.15) තාල උත්පාදනය වීමට අල්ල මූලික වන බැවින් අභිනවගුප්ත මේ අදහසට පැමිණ ඇත.

ආවර්තිතාව තාල සංකල්පයේ වැදගත් ම ප්‍රපංචයකි. ආවර්තිතාව රහිත ව තාලයේ ප්‍රායෝගික භාවිතයක් ඇති නොවෙයි. කාල ඛණ්ඩයක් නිර්මාණය වීමට අවම වශයෙන් ක්‍රියා දෙකක් යෙදිය යුතු ය. එහෙත් ක්‍රියා දෙකකින් පමණක් කාලයේ ආවර්තිතාව මතු කර ගත නො හැකි ය. ඒ සඳහා අවම වශයෙන් ක්‍රියා තුනක් භාවිත කළ යුතු ය. මේ අනුව තාල නිරූපණය පිණිස අවම වශයෙන් ක්‍රියා තුනක් යෙදිය යුතු බව පැහැදිලි ය. ක්‍රියා දෙකක් අතර කාලාන්තරය මාත්‍රාව මගින් නිරූපණය වන බැවින් ක්‍රියා තුනක් යනු මාත්‍රා දෙකක නිරූපණයකි. එමනිසා ප්‍රායෝගික ව තාල නිරූපණය සඳහා අවම වශයෙන් මාත්‍රා දෙකක් අවශ්‍ය වන බව පැහැදිලි වෙයි.

Post a Comment

Previous Post Next Post