අවනද්ධ භාණ්ඩයේ සංනිවේදන කාර්යය
මිනිසා සමාජයක් වශයෙන් එකට ජීවත් වූ අවදියක ඔවුනොවුන් තුළ ඇති වූ මානුෂික හැඟීම් මෙන් ම මානව සම්බන්ධතා තුළින් ලැබෙන අනුභූතීන් ප්‍රකාශ කිරීමෙහි ලා ප්‍රකාශන මාධ්‍යයක් ලෙස සංගීත භාණ්ඩ යොදා-ගත් බවට සාක්ෂි එමට ඇත. සිය මනසේ නැගෙන කලාත්මක හැඟීම් මෙන් ම, ස්වභාවධර්මය හා බද්ධ වුණු රිද්මය සෞන්දර්යාත්මක ව සංගීත භාණ්ඩ තුළින් ප්‍රකාශ කිරීමේ හැකියාව දුටු ආදි මිනිසා ගේ කලාකාමී මනස සංගීත භාණ්ඩ කෙරෙහි ඇදී යන්නට විය. භාෂණයෙන් කළ හැකි සංනිවේදනයක් සංගීත භාණ්ඩ ඇසුරෙහි කිරීමේ හැකියාව සාක්ෂාත් කර-ගත් මිනිසා, භාණ්ඩයන්හි සියුම් හැකියාවෙන් සිය අභිමතයන් මුදුන් පත් කර-ගැනීමට උත්සුක වූ හ.
අවනද්ධ භාණ්ඩවලින් නිකුත්වන නාද ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාවක් මිනිස් කටහඬට ඇති මුත්, මනුෂ්‍යයා විසින් කටින් පිට කරනු ලබන සෑම නාදයක් ම පැහැදිලි ආකාරයෙන් උත්පාදනය කිරීමේ හැකියාවක් අවනද්ධ භාණ්ඩවලට නොමැත. සීමිත වූ නාද උත්පාදන පරාසයක් ඇති ව වුව ද අවනද්ධ භාණ්ඩ අනෙකුත් සංගීත භාණ්ඩයන්ට සාපේක්‍ෂ ව සංනිවේදන ලෝකයෙහි ඉදිරියෙන් ම සිටියි.
සංනිවේදනය යනු.......
සං යනු ඒකට කැටි වීම යන අරුත ගෙන එන්නකි. නිවේදනය යන්නෙන් මනා සේ ඇඟවීම දැක්වීම හා ප්‍රකාශ කිරීම වැනි අදහස් ධ්වනිත වෙයි. එහි ක්‍රියාවලිය වන්නේ දෙපක්ෂයක් අතර හැඟීම්, අදහස්, ආරංචි, ප්‍රවෘත්ති ආදිය හුවමාරු කරගැනීම යි, මේ අනුව සංනිවේදනය යන්නෙන් එකට එකතු වී සිදු කෙරෙන හැඟීම හෝ යම් අදහස් ප්‍රකාශ කිරීමක් ලෙස හැඳින්විය හැකි ය.
අවනද්ධ භෂාව
ලොව ඇති සෑම අවනද්ධ භාණ්ඩයකට ම එයට ම ආවේනික වූ නාදයක් නොහොත් භාෂාවක් ඇති බව පැහැදිලි ය. මේ අතරින් බොහෝ අවනද්ධ භාණ්ඩ උසස් සංනිවේදන හැකියාවකින් යුත් පරිපූර්ණත්වයට පත් භාෂා ඇසුරු කරන බව සඳහන් කළ යුතු ය. ස්වර වාද්‍ය භාණ්ඩවලින් නිකුත් කෙරෙන නාද හේතුවෙන් මිනිස් සිත තුළ උපදින හැඟීමට වඩා වෙනස් වූ හැඟීමක් අවනද්ධ භාණ්ඩ නාදය ශ්‍රවනයෙන් මිනිස් සිත තුළ ජනිත වෙයි. අවනද්ධ භාණ්ඩයෙන් උත්පාදනය වන ධ්වනියන්හි සම්මතාර්ථයක් ඇත. එසේ ම ධ්වනිතාර්ථයක් ද ඇත. සම්මතාර්ථයෙන් ඔබ්බට ගිය කළ හමු වන ධ්වනිතාර්ථය වඩාත් ගැඹුරු මෙන් ම මිනිස් අධ්‍යාත්මය හා මනා ව සුසංයෝජනය ද වෙයි. මේ සම්මතාර්ථයට ඇතුළතින් දිවෙන ධ්වනිතාර්ථය වටහා-ගැනීම මනා පරිචයකින් සිදු කළ යුත්තකි. මේ ධ්වනිතාර්ථය අවබෝධ කර-ගත් තැනැත්තේ අවනද්ධ භාණ්ඩයෙන් සංනිවේදනය වන්නා වූ දෙය මනා ව වටහා-ගැනීමට සමත් වෙයි.
අවනද්ධ අක්‍ෂර
අවනද්ධ භාණ්ඩයක් සංගීතාත්මක කාර්යයකට යොදා-ගත්ත ද, එය යාගහෝමාදී ඇදහිලි සඳහා භාවිත කළ ද, එයින් සතුරු උපද්‍රවයක් හෝ වෙනයම් එවැනි පණිවිඩයක් පිළිබඳ ව දැනුම් දීමක් කළ ද, මේ සියල්ලේ ම මූලික පරමාර්ථය සංනිවේදනය යි. මේ සංනිවේදන කාර්යයන් සඳහා ඒ ඒ භාණ්ඩයනට ආවේනික වූ භාෂාවන් පවතියි. අවනද්ධ භාණ්ඩ වාදකයා තම භාණ්ඩයට ආවේනික වුණු භාෂාව උපයෝගි කර-ගනිමින් සංනිවේදන කාර්යයෙහි නිරත වන අතර එය ශ්‍රවනය කරන්නා ඒ පිළිබඳ ව තමා ලත් පරිචයේ පමණට එය ග්‍රහණය කර-ගනී. එමගින් ඔහු ගේ මනසෙහි යම් චිත්තරූපයක් මැවෙයි. මේ ආකාරයෙන් සිදු වන්නා වූ සංනිවේදන කාර්යයෙහි දී භාණ්ඩයෙන් ධ්වනිත වන නාදයනට මූලික වන අක්‍ෂරයෝ අවනද්ධ අක්‍ෂර ලෙස සරල ව හැඳින්විය හැකි ය. පුරාණ ශාස්ත්‍රඥයින් විසින් තම චින්තන ශක්තිය උපයෝගි කර-ගෙන අවනද්ධ භාණ්ඩයක මුහුණතෙහි විවිධ ස්ථානයන්හි සිදු කරනු ලැබූ විවිධ ආකාරයේ ආඝාත ආධාරයෙන් උත්පන්න වන්නා වූ නිශ්චිත ධ්වනි හඳුනාගැනීමට යෙදූ අක්‍ෂර රූප සඳහා සිදු කළ නාමකරණ අවනද්ධාක්‍ෂර ලෙස හැඳින්වෙයි.
අවනද්ධ භාණ්ඩයේ භාවිතය
සංගීතාත්මක අවස්ථා සඳහා පමණක් නො ව, අවනද්ධ භාණ්ඩ විවිධ වූ කාර්යයන් සඳහා භාවිතා කෙරේ. ආදි කාලීන අවනද්ධ භාණ්ඩ වැඩි වශයෙන් සංගීතමය කාර්යයන්ට වඩා සතුරු උපද්‍රවයක් පිළිබඳ දැනුම් දීමක් වැනි සංනිවේදන කාර්යයන් සඳහා යොදා-ගෙන ඇත. එදා මෙදා තුර බොහෝ කාර්ය සඳහා අවනද්ධ භාණ්ඩ යොදා-ගෙන ඇති බව ඒ පිළිබඳ සඳහන් ව ඇති කරුණු අනුව පෙනී යයි. මේ කාර්යය ඍජු ව ම යම් පණිවිඩයක් පිළිබඳ දැනුම් දීමක් විය හැකි ය; එය යාගහෝමාදී ඇදහිළි හා ආගමික කටයුතුවලට භාවිතා කිරීමක් විය හැකි ය; එසේ ම සංගීතමය කර්තව්‍යයකට යොදා-ගැනීමක් ද විය හැකි ය. මේ සියල්ලක ම පසුබිමෙහි ඇත්තේ සංනිවේදනයක් බව ඒ පිළිබඳ ව තර්කානුකූල විග්‍රහයකින් පැහැදිලි වෙයි. සංනිවේදනය යන්නෙන් දෙපක්‍ෂයක් අතර හැඟීම්, අදහස්, ආරංචි, ප්‍රවෘත්ති හුවමාරු කර-ගැනීම යන්න අරුත් ගැන්වෙන බැවින් සෑම අවනද්ධ භාණ්ඩයකින් ම සිදු වන්නේ සංනිවේදන ක්‍රියවලියක් ම බව පැහැදිලි වෙයි.
අවනද්ධ භාණ්ඩයේ භාවිතය තෙවැදෑරුම් ය. එනම්,
1. ඍජු සංනිවේදනය පිණිස භාවිතය
2. ආගමික හා යාගාදී ශාන්තිකර්ම පිණිස භාවිතය
3. රසාස්වාදය පිණිස භාවිතය
අවනද්ධ භාණ්ඩ භාවිතයේ සංනිවේදන ලක්ෂණ
අවනද්ධ භාණ්ඩ භාවිතයේ සංනිවේදන ලක්ෂණ ඉහත දැක්වූ තුන් ආකාර භාවිතය පාදක
කරගෙන දැක්විය හැකි ය.
1. ඍජු සංනිවේදනය පිණිස භාවිතය
සතුරු උවදුරක් පිළිබඳ දැන්වීම
යම් පණිවිඩයක් ප්‍රකාශ කිරීම ( අණ බෙර, වද බෙර ආදිය )
යුධ කටයුතු (රණ බෙර ආදිය )
නායකත්වය ප්‍රකාශ කිරීම
ප්‍රීතිය හා ශෝකය ප්‍රකාශ කිරීම
කාලය දැක්වීම
2. ආගමික හා යාගාදී ශාන්තිකර්ම පිණිස භාවිතය
ආගමික පූජා කටයුතු
යාග ආදී ශාන්තිකර්ම
3. රසාස්වාදය පිණිස භාවිතය
සෞන්දර්යාත්මක කාර්යයන්
අවනද්ධ භාණ්ඩ ආධාර කර-ගනිමින් පණිවිඩ හුවමාරු කර-ගැනීම ආදි මනවයා ගේ සිට පැවති ක්‍රියාවකි. පුරාණ රාජ්‍ය පාලන කටයුතුවල දී ප්‍රධාන සංනිවේදන මාධ්‍යය ලෙස අවනද්ධ භාණ්ඩ පැවති බවට පිළිගත හැකි ය. ශ්‍රී ලංකාවේ මේ සඳහා භාවිතා කළ භාණ්ඩ අතර දවුල හා තම්මැට්ටම ප්‍රධාන තැනක් ගනී. අවනද්ධ භාණ්ඩ සංනිවේදන කාර්ය සඳහා යොදා-ගත් අවස්ථා අණ බෙර, රණ බෙර(යුධ බෙර), වද බෙර, මළ බෙර ආදී වශයෙන් සඳහන් ව තිබේ. අණ බෙර, වද බෙර, රණ බෙර ආදී වශයෙන් සාහිත්‍ය ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ අවනද්ධ භාණ්ඩ වර්ගයන් නො ව ඒවායේ විවිධ වාදන ස්වභාව, නැතහොත් සැබැවින් ම භාණ්ඩ භාවිතයේ විවිධ අවස්ථා ලෙස දැක්විය හැකි ය. ලංකාවේ ප්‍රචලිත දවුල අණ බෙර, වද බෙර මෙන් ම රණ බෙර යන අවස්ථාවන් සියල්ල සඳහා ම භාවිතා කළ භාණ්ඩයකි.
අණ බෙර
අණ බෙර වැයීම වශයෙන් අදහස් කරන්නේ කිසියම් රාජාඥාවක් රට වැසියාට දන්වා-සිටීමේ දී සිදු කෙරෙන වාදනය යි. මේ සඳහා බහුල වශයෙන් යොදා-ගැනෙනුයේ දවුල ය. බෙර හඬ අසා අවස්ථාව නිශ්චය කර-ගත් ජනයා බෙරය වාදනය කරන ස්ථානයට රැස් වූ පසු රජු ගේ ආඥාව දන්වා-සිටීම සම්ප්‍රදාය යි.
රණ බෙර
යුද්ධ අවස්ථාවන් සඳහා අවනද්ධ භාණ්ඩ භාවිතාව රණ බෙර වාදන ලෙස හැඳින්වෙයි. යුද්ධ අවස්ථා සඳහා අවනද්ධ භාණ්ඩවල භාවිතාව පිළිබඳ මුල් ම සඳහන වේද ග්‍රන්ථයන්හි ඇත. දුන්දුභි හා ආඩම්බර නැමැති අවනද්ධ භාණ්ඩ මේ සඳහා යොදා-ගෙන ඇති ප්‍රමුඛ අවනද්ධ භාණ්ඩයෝ ය. ඍග් වේදයෙහි යුද්ධ සඳහා දුන්දුභිය වාදනය කිරීමේ දී ඇති වන උනන්දුව පිළිබඳ ව කදිමට විස්තර කර ඇත. මේ ආකාරයේ විස්තරයක් අථර්ව වේදයේ ද ඇති බව සඳහන් වෙයි (මිශ්‍රා 1973, පි. 189). යුද්ධය සඳහා පිරිස රැස් කර-ගැනීම, යුද්ධ සේනා ගමන් කරන මඟ දැක්වීම, ඔවුන්ට ධෛර්යය, ශක්තිය, ජීවය ලබා-දීම ආදී කාර්ය මෙන් ම සතුරු හමුදාවල චිත්ත ශක්තිය අඩපණ කිරීම වැනි දෑ අරමුණු කර-ගෙන වාදනය කෙරෙන්නේ රණ බෙර වාදන ය. රණ බෙර වැයීම සඳහා අවනද්ධ භාණ්ඩ විශාල සංඛ්‍යාවක් යොදා-ගත් බව ලාංකේය සාහිත්‍ය ග්‍රන්ථයන්හි අඩංගු තොරතුරුවලින් අනාවරණය වෙයි. දුටු ගැමුණු රජු ගේ යුද්ධ සේනාවෙහි පැවති බෙර පිළිබඳ ව ථුපවංසයේ අඩංගු තොරතුරුත්, පරාක්‍රම බාහු රජු ගේ යුද්ධ කටයුතු පිළිබඳ ව දඹදෙණි අස්නේ දක්වන තොරතුරුත් විමසීමේ දී ලංකා ඉතිහාසයේ යුද්ධ කටයුතු හා සම්බන්ධ වුණු සංනිවේදන කාර්ය සඳහා විශාල බෙර සංඛ්‍යාවක් භාවිතා කොට ඇති බව පැහැදිලි වෙයි.
අවනද්ධ භාණ්ඩ අතුරින් ඉතා ම අශුභ ඵල ගෙනෙ දෙන භාණ්ඩයක් ලෙස පැරණි ලාංකීයයන් සලකා ඇති පටහා ව යුද්ධ කටයුතු සඳහා ද යොදා-ගෙන ඇති බව සඳහන් වෙයි (කුලතිලක 1974, පි. 130). එහෙත් එය යොදා-ගෙන ඇත්තේ අනෙකුත් අවනද්ධ භාණ්ඩ මෙන් යුද්ධ සේනා ගමන් මඟ දැක්වීම සඳහා හෝ යුද්ධ බලකායේ ධෛර්යය, ශක්තිය, ජීවය ආදිය සඳහා උත්තේජනයක් ලබා දීමේ අරමුණින් හෝ නො ව යුද්ධ ප්‍රකාශ කිරීම සඳහා ය. පටහා බෙරයෙන් නිකුත් වන්නේ මළ බෙර හඬකි. යුද්ධ ප්‍රකාශ කිරීමක් යනු මිනිස් ඝාතන වැලක ආරම්භයක් වන බැවින් එය සංකේතවත් කිරීමට මෙසේ පටහා ව වාදනය කළේ යැ යි සිතිය හැකි ය. සතුරන් ගේ සිතේ භිය ඇති කිරීම පිණිස යුද්ධ ආරම්භයට පෙර භේරි නැමැති භාණ්ඩය ද වාදනය කර ඇත.
මළ බෙර
මළ බෙර යනු අවමංගල්‍ය උත්සව අවස්ථාවන්හි දී සිදු කෙරෙන වාදන ය. මළ බෙර වාදන මගින් සංනිවේදන කටයුතු කිරීමේ ක්‍රමයක් ලංකාවේ තිබී ඇත. මළ බෙර වාදනය මගින් රජතුමා ගේ අභාවය පිළිබඳ ව රට වැසියා දැනුවත් කිරීමේ ක්‍රමයක් මහනුවර යුගයේ දී පැවැති බව ජෝන් ඩේව් විසින් කර ඇති විස්තරයෙන් අනාවරණය වෙයි. පුරාණයේ මළ බෙර වාදනය කිරීම රජවරුන් වෙනුවෙන් පමණක් නො ව, රාජ්‍යපාලනය හා සම්බන්ධ ප්‍රභූවරයකු ගේ අවමංගල්‍ය අවස්ථාවක දී ද සිදු කොට ඇත. මළ බෙර වාදනය ශ්‍රී මහ බෝ සමිඳු ගේ යම් කෙටසක් දිරා පත් වූ විට එම කොටස ආදාහනය කිරීම සඳහා පෙරහැරින් වැඩම වීමේ දී වාදනය කිරීමෙන් ආරම්භ වූයේ යැ යි පිළිගැනේ. මේ සඳහා මුලින් ම යොදා-ගෙන ඇත්තේ පටහ බෙරය යි (කුලතිලක 1974, පි. 130). අවමංගල්‍ය අවස්ථාවන්හි දී වාදනයට ගත් ප්‍රේත පටහ පිළිබඳ ව ද ඉන්දීය ඉතිහාසය තුළ විස්තර වන බව කුලතිලක (1974, පි. 130) පවසයි.
වද බෙර
සොරකම්, මිනී මැරුම් වැනි රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ට වරද කරුවන් වූ පුද්ගලයින් හට දඬවම් පමුණුවීම පිණිස රැගෙන-යාමේ දී සිදු කර ඇත්තේ වද බෙර වාදන ය. මෙවැනි සිදු වීම් බෞද්ධ සාහිත්‍යයෙහි ද අන්තර්ගත ය. වර්තමාන ජන සමාජය තුළ මේ ආකාරයට වද බෙර වාදනය කරමින් වරද කරුවන් රැගෙන-යාම දුලබ ක්‍රියාවකි. ලංකාවේ අණ බෙර, රණ බෙර, වද බෙර, මළ බෙර ආදිය රාජ්‍ය මට්ටමින් පැවති බව මේ තොරතුරු අනුව පෙනෙන කාරණාවකි.
නාද කේත (sound codes)
අප්‍රිකාවේ නාද කේත ක්‍රමයක් ආධාර කර-ගෙන අවනද්ධ භාණ්ඩ මගින් පණිවිඩ හුවමාරු කර-ගන්නා ක්‍රමයක් ඇති බව සඳහන් වෙයි (Deva 1987, p.59). ඇතැම් අප්‍රිකානු ගෝත්‍රිකයින් යම් කිසි ක්‍රමානුකූල ක්‍රමයකට සැකසුණු බෙර ධ්වනි ඛණ්ඩයක් මගින් සංනිවේදන කටයුතු සිදු-කරමින් බෙර භාෂාවක් භාවිතා කොට ඇත. පුරාණ භාරතයේ දී නගර මුර පළවල් අසල තබා තිබූ විශාල කේත්‍වාකාර අවනද්ධ භාණ්ඩ වාදනය කිරීමෙන් ඈතින් පැමිණෙන සතුරු උපද්‍රවයන් පිළිබඳ ව කල් වේලා ඇති ව නගර වාසීන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් තිබූ බව සඳහන් වෙයි (Sambamoorthy 1959, p.2).
සිදුවීමක් පිළිබඳ දැක්වීම
පුරාණ සිංහල විවාහ මංගල්‍ය උත්සවයක දී නව යුවතිපතීන් ගේ විරුදාවලි (විරුදු) ගැයීම සඳහා සහාය භාණ්ඩයක් වශයෙන් අත් රබාන භාවිතා කර ඇත (කුලතිලක 1974, පි. 196). ශ්‍රී ලාකාවේ භාවිත වන බංකු රබන් වාදනය ද එක්තරා සංනිවේදන මාධ්‍යයක් ලෙස යොදා-ගෙන තිබේ. ක්‍රිස්තු භක්තිකයින් ගේ දේව පූජා උත්සවයේ කොඩි ගහ එසවීමේ උත්සවයට බංකු රබාන වාදනය කිරීමේ චාරිත්‍රයක් ඇත. මෙය ජයග්‍රහණයේ සංකේතයක් වශයෙන් යෝදා-ගෙන ඇත (කුලතිලක 1981, පි. 77). සිංහල ජනතාව ගේ වැදගත් ජාතික උත්සව සමයක් වන අලුත් අවුරුදු සමයෙහි වැදගත්, එමෙන් ම ප්‍රමුඛතම අවනද්ධ භාණ්ඩයක් බවට බංකු රබාන පත් වී ඇත.
ආගමික පූජා කටයුතු
ශ්‍රී ලාංකේය ආගමික සිද්ධස්ථාන ආශ්‍රිත පුද පූජාවලට බහුල ව ම යොදා-ගෙන ඇත්තේ දවුල, තම්මැට්ටම හා හෙරණෑව ය. මේ වාදනය හේවිසි නමින් හැඳින්වෙයි. හේවිසි යන්න ලංකාවේ පුරාණ කාලයේ සිට පැවත එන වාදන අවස්ථාවකි. හේවිසි වාදනය කරනු ලබන්නේ පුජා විධි විශේෂයක් ලෙසින් බුදුන් වහන්සේ පෙරටු කොට ගනිමින් සූවිස්සක් බුදුන් වහන්සේලාත්, සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති ධාතු කරඬු, බුදු පිළිම, වෙහෙර වහන්සේලා සහ ශ්‍රී මහ බෝ සමිඳු උදෙසා පමණි. හේවිසි වාදනය කිරීමේ සාම්ප්‍රදායික පිළිවෙත් අනුව මෙම භේරි වාදන අවස්ථාවන් සිදු කරනු ලබන්නේ මහනුවර දළදා මාලිගාවේ සහ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳු අභියස පමණකි.
(අදිකාරම්, දිසාවේ වැනි උසස් රදළවරුන් තම බල ප්‍රදේශ තුළ ගමන් කරන විට දවුල, තම්මැට්ටම හා හෙරණෑව යන තූර්ය භාණ්ඩයන් ගෙන් සමන්විත වාදන සහිත ව යෑම සිරිතක් ව පැවතිණ. මෙය ගමන් හේවිසිය නමින් හැඳින්විණ. )
යාග ආදී ශාන්තිකර්ම
බෞද්ධාගමික වත් පිළිවෙත් හැරුණු කොට ලාංකේය ගැමි ජනතාව අතර පවතින ශාන්තිකර්ම ද ආගමික පුද පූජාවනහි තවත් අංගයකි. ශාන්ති කර්ම පවත්වනු ලබන්නේ දේව, භූත, ප්‍රේත ආදී අදෘශ්‍යමාන බලවේගවල පිහිට ලබා-ගැනීම සඳහා ය. මේ බලවේග හා සන්නිවේදනය කිරීම සඳහා උඩරට, පහතරට හා සබරගමු යන ත්‍රිවිධ සම්ප්‍රදායේ විවිධ බෙර පද කොටස් සකසා-ගෙන ඇති අතර දෙවියන්ට ආරාධනා කිරීම, යකුන් කැඳවීම ආදිය සඳහා නිර්මාණය වුණු විශේෂ බෙර පද කොටස් ද ඇත. ගැට බෙර වාදන සම්ප්‍රදායට අයත් දේව පදය දෙවි දේවතාවුන් ගේ ආශීර්වාදය ලබා-ගැනීම සඳහාත්, ගුරු පදය ගුරු දෙගුරුන් ගේ ආශීර්වාදය ලබා-ගැනීම සඳහාත්, වට්ටම් පදය රැස් ව සිටින සියලු ම දෙනා ගේ ආශීර්වාදය ලබා-ගැනීම සඳහාත් වාදනය කෙරේ.
කාලය දැක්වීම
කාලය දැක්වීම පිණිස අවනද්ධ භාණ්ඩ යොදා-ගත් අවස්ථාවන් පිළිබඳ ව භාරතීය ඉතිහාසය තුළින් ද කරුණු හෙළි වෙයි. මධ්‍ය යුගයේ දී ශෙහෙනායි නැමැති සුෂිර භාණ්ඩයන් හා නගාර හෙවත් නක්ඛරා(naqqara) නැමැති අවනද්ධ භාණ්ඩයන් ගේ එකතුවක් සඳහා නෞබට් (naubat) යනුවෙන් හඳුන්වා ඇත. මෙම නෞබට් දිවා රාත්‍රියේ දී කාලය දැක්වීම පිණිස වාදනය කොට ඇත (Sambamoorthy 1959, p.2). නගාරා යුගල දොලහකින් සමන් විත වුණු මෙවැනි කණ්ඩායමක් නඛර්ඛානා (nakharkhana) නමින් අක්බර් සමයේ දී තිබී ඇත (Deva 1987, p.68).
සෞන්දර්යාත්මක කාර්යයන්
අවනද්ධ වාදකයා තම සිතෙයි හටගත් නිර්මාණශීලී හැඟීම් අවනද්ධ අක්ෂර ආධාරයෙන් අවනද්ධ භාණ්ඩයෙන් උත්පාදනය කරන්නා වූ ධ්වනි මාලාව ඔස්සේ ශ්‍රාවකයා ගේ සවන් වෙත යොමු කළ කල්හි ඒ අවනද්ධ භාෂාව අවබෝධ කරගන්නා වූ ශ්‍රාවකයා එය තේරුම් ගනියි. මේ ආකාරයට අවනද්ධ වාදකයාත් ශ්‍රාවකයාත් අතර සංනිවේදනයක් සිදු වෙයි.
ශ්‍රී ලාංකේය අවනද්ධ භාණ්ඩ සංගීතමය කර්තව්‍යයන්ට වඩා ආගමික කටයුතු, යාතුකර්ම හා ඍජු ව ම පණිවිඩ හුවමාරු කිරීමේ කාර්යයන් සඳහා යොදා-ගෙන ඇත. ශ්‍රී ලාංකේය අවනද්ධ භාණ්ඩයන් මනුෂ්‍ය රසාස්වාදය පිණිස යොදා-ගන්නා අවස්ථා ඇතත් එවා සීමිත ය.
___________________________________________________________
ආශ්‍රිත ග්‍රන්ථ
කුලතිලක, සී. ද එස ්. (1974) , ලංකාවේ සංගීත සම්භවය. සීමාසහිත ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම
ඩේව්, ජෝන්. (2002). ඩේවි දුටු ලංකාව. එච්. එම්. සෝමරත්න හා විමලා ඇල්ලේපොල (අනුවාදනය) ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
තෙන්නකෝන්, විමලානන්ද. (1963) උඩරට මහා කැරැල්ල. ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
පීරිස්, ඩී. චානක. (2007). අවනද්ධ භාණ්ඩයේ සංනිවේදන කාර්යය. සෞන්දර්ය කලා විමර්ශන - 2. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
සෙනෙවිරත්න, අනුරාධ. (1981). සංස්කෘතිය හා කලා ශිල්ප. ප්‍රදීප් ප්‍රකාශකයෝ
සේදරමන්, ජේ. ඊ. (1996). උඩරට තාල ශාස්ත්‍රය. ඇම්. ඩී. ගුණසේන සහ සමාගම