තබ්ලා වාදන කලාව

 තබ්ලා වාදන කලාව

කලාව යන වචනය පුළුල් අර්ථයක් ගෙන දෙන්නකි. කලාවේ ඉතිහාසය මානව ඉතිහාසයේ මූලාරම්භය දක්වා ඈතට දිව යයි. ආත්මීය වටිනාකමක් ඇති, මිනිස් මනෝභාවයන් සමග සම්බන්ධ වන්නා වූ, එමෙන් ම යම් ආකාරයකට මිනිසා තුළ බුද්ධිමය වර්ධනයක් ඇති කරන්නා වූ තත්ත්‍වයක් කලාව ලෙස අර්ථ දැක්විය හැකි ය. මිනිසා ගේ මූලික අවශ්‍යතාවලට අමතර ව ඔහු විසින් ලබා-ගත යුතු ද්විතියික අවශ්‍යතාවල කොටසක් වශයෙන් කලාව මානව සමාජය තුළ විශ්ව ව්‍යාප්තියක් ලෙස බිහි ව ඇත. ශාස්ත්‍රයේ ඵලයක් ලෙස බිහි වන ශිල්පයත්, ශිල්පයේ ඵලයක් වූ කලාවත් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක හා සම්බන්ධ වෙයි. මිනිස් මනස හා පරිකල්පනය සමඟ සම්බන්ධ වීම කලාවේ ලක්ෂණයකි. තම මාධ්‍යය සතු ලක්ෂණ ගැඹුරින් පරිශීලනය කර මිනිස් මනස හා පරිකල්පනය, භාවමය හා බුද්ධිමය වශයෙන් විවරණය කෙරෙමින් එමගින් මිනිසා ගේ බුද්ධිය පුළුල් කර වඩාත් ගැඹුරු ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කිරීම කලාවේ මුඛ්‍ය අරමුණ වෙයි.   


තබ්ලාව සඳහා වාඩි වීම

තබ්ලා වාදන ශිල්පියකුට වාදන ඉරියව්ව ඉතාමත් ම වැදගත් වුවකි. තබ්ලාව සඳහා වාඩි වීමේ දී වාදකයන් විසින් තම තමන්ට පහසු වූ විවිධ ඉරියව් භාවිතා කරනු ලබන බව බොහෝ විට දැක-ගත හැකි ය. මෙය තමන්ට වඩාත් පහසුවෙන් සිරුර සමබර ව තබාගැනීමට හැකි ඉරියව්වක් වෙයි. කෙසේ වෙතත් තබ්ලා වාදනය සඳහා වාඩි වීමේ දී වඩාත් උචිත යැ යි සම්මතයේ ඇති ක්‍රම දෙකක්  සුලබ ව දැක ගත හැකි ය. 

1. එරමිණියා ගොතා-ගෙන වාඩි වීම. 

රූපය 1 - තබ්ලා වාදනය සඳහා වාඩි වන පළමු ක්‍රමය

2. එක් කකුලක් ඇතුළටත් අනෙක පිටටත් සිටින සේ තබා වාඩි වීම. 

රූපය 2 - තබ්ලා වාදනය සඳහා වාඩි වන දෙ වන ක්‍රමය

ඉහත කිනම් ආකාරයකට තබ්ලා වාදනය සඳහා වාඩි වුව ද,  ශරීරය සමතුලිත ව පහසු ආකාරයට තබා-ගත හැකි ඉරියව්ව තබ්ලා වාදනයෙහි උචිත ම ඉරියව්ව වෙයි. මෙහි දී කොඳු නාරටිය ඍජු ව ද, උරහිස්, බාහු සහ මැණික් කටු ලිහිල් ව ද තබා-ගැනීම වැදගත් ය. හිස අනවශ්‍ය ලෙස චලනය කිරීම හා පමණට වඩා මාංස පේශි තද කර-ගෙන සිටීම වාදනයේ දී අධික ව අහයපත් ලෙස බලපානු ලබයි. තබ්ලාවක් වාදනය කළ යුත්තේ ඇඟිලිවලින් මිස උරහිස්වලින් හෝ මුළු සිරුරෙන් ම යොදා-ගන්නා ශක්තියකින් නො වේ. සිරුර ලිහිල් ව තබා-ගෙන සිරුරේ ශක්තිය ඇඟිලිවලට යොමු කොට, ඇඟිලිවල ශක්තියෙන් පමණක් තබ්ලාව වයන්නා තබ්ලා ශිල්ප ධර්ම මැනවින් අවබෝධ කර-ගත්තෙකි.

 තබ්ලාව පිහිටුවීම   
තබ්ලාව ඌර්ධ්වාකාරයෙන් වාදනය කරනු ලබන කොටස් දෙකකින් සමන්විත වූ අවනද්ධ භාණ්ඩයකි. එය පොළොව මත තබා වාදකයා ද පොළොව මත වාඩි වී දෙඅතින් ම වාදනය කිරීම සම්මත ක්‍රමය වෙයි. තබ්ලාව පොළොව මත තැබීමේ දී එය නොසෙල්වී තබා-ගැනීමට ආධාරක දෙකක් භාවිතා කරනු ලැබේ. මෙය මෘදු ද්‍රව්‍යයකින් සාදන ලද රවුම් වළලු දෙකකි. මෙමගින් භාණ්ඩය නොසෙල් වී නියම පිහිටුවීමෙහි තබා-ගැනීමට ආධාර ලැබෙනවා සේ ම තබ්ලාවෙන් නිකුත් වන නාදයේ අනුනාදී ස්වභාවයක් ලබා-ගැනීමට ද උපකාරී වෙයි. තබ්ලාව වළලු මත නො තබා පොළොව මත තැබීමෙන් එහි බඳ පොළොව හා ඝට්ටනය වීම හේතු කොට ගෙන එයින් නික්මෙන නාදයේ අනුනාදී ස්වභාවය අඩු වී යයි.


රූපය 3 - තබ්ලාව පිහිටුවීම


තබ්ලාව පිහිටුවා-ගැනීම ද විවිධ වාදකයින්ට අනුව හා විවිධ තබ්ලා ශෛලීන්ට අනුව වෙනස් වෙයි. දහිනාවේ මුහුණත වාදකයා ගේ ශරීරයෙන් පිට දෙසට දිශාගත වන ආකාරයට මදක් ආනත ව තබා-ගැනීම වාදනයේ දී පහසුවක් වෙයි. ඩග්ගාව බොහෝ විට සිරස් ව තබා-ගන්නා අතර, උත්කේන්ද්‍රීය ව (eccentric) පිහිටා ඇති එහි ස්‍යාහි නොයෙක් කොණවලට තබා-ගැනීම විවිධ ශෛලිවල විවිධාකාරයෙන් සිදු කෙරෙයි. මෙය එම ශෛලියේ වාදන ශිල්ප විධි අනුව නාද නිෂ්පත්තියෙහි වඩාත් ම සඵල පිහිටුවීම ලෙස සැලකිය හැකි ය. උදාහරණ වශයෙන් දක්වතොත් දිල්ලි ඝරාණාවේ වාදකයෝ ස්‍යාහි සම්පූර්ණයෙන් ම තමන්ට විරුද්ධ දිශාවට යොමු කර වාදනය කරති.
රූපය 4 - දිල්ලි ගුරුකුලයේ වාදකයෝ ඩග්ගාව පිහිටුවාගන්නා සුලබ ක්‍රමය

 බණාරස් ඝරාණාව නියෝජනය කරන පණ්ඩිත් සාම්තා ප්‍රසාද් හා ඔහුගේ ශිෂ්‍යයෝ ස්‍යාහි සම්පූර්ණයෙන් ම තමන් දෙසට යෙමු වන ආකාරයට තබා ගෙන වාදනය කරනු ලබති.

රූපය 5 - බණාරස් ගුරුකුලයේ  වාදකයෝ ඩග්ගාව පිහිටුවාගන්නා සුලබ ක්‍රමය

 මේ අතර ලක්නවු ඝරාණාවේ සාමාජිකයෝ ස්‍යහි ඉහළින් අංශක  60-90 අතර කෝණයකට තබා ගැනීමට ලැදි බවක් දක්වති.
රූපය 5 - ලක්නවු ගුරුකුලයේ  වාදකයෝ ඩග්ගාව පිහිටුවාගන්නා සුලබ ක්‍රමය

 අජරාඩා ඝරාණාවේ ඇතැම් වාදකයෝ මෙය අංශක 120 ක් දක්වා වූ කෝණයකට තබා වාදනය කිරීමෙහි රුචිකත්වයක් දක්වති.


රූපය 6 - අජරාඩා ගුරුකුලයේ  වාදකයෝ ඩග්ගාව පිහිටුවාගන්නා සුලබ ක්‍රමය

කෙසේ වුවත් බොහෝ වාදකයෝ ඩග්ගාව 5වන රූපයේ ආකාරයට තබා-ගැනීම කෙරෙහි ලැදියාවක් දක්වති. මෙය ඩග්ගාව පිහිටුවීමේ සුලබ ක්‍රමය ද වී ඇත.

නාද නිෂ්පත්තිය
තබ්ලා වාදනයෙහි වඩාත් ම වැදගත් අංගය නාද නිෂ්පදනය යැ යි කිව හැකි ය. මෙය සත්‍ය වශයෙන් ම සංගීතඥයකු ගේ ආත්මගත හැඟීමක් වෙයි. සෑම ශෛලියක් පසුබිමෙහි ම පවත්නා අනන්‍යතාවක් ද වෙයි. අක්ෂරයක නිවැරදි නාද නිෂ්පදනය කුමක්ද යන්න පිළිබඳ ව ඒකමතික අදහසක් නො පැවතීම මේ නිසා අපේක්ෂා කළ හැකි දෙයක් ද වෙයි. මන්ද යත්, එක ම අක්ෂරයක වුව ද විවිධ ශෛලීන් තුළින් එකිනෙකට වෙනස් වූ නාද උත්පාදනය වන නිසා ය. මේ නිසා තබ්ලා වාදකයකු අක්ෂරයක නාදයේ යථා ස්වභාවය පිළිබඳ ව නිවැරදි දැක්මකින් සිටීම වැදගත් වෙයි. 

නාද නිෂ්පත්ති ක්‍රමය යනු ශිල්ප ධර්මය යැ යි පැවසිය හැකි ය. නිවැරදි ශිල්ප ධර්මයකට අංග තුනක්  වැදගත් වෙයි.

1. අංග වින්‍යසය.
2. බාහුවේ හා අතේ පිහිටීම.
3. අඟිලි පිහිටුවීම හා හැසිරවීම.

අංග වින්‍යසය
අංග වින්‍යාසය නාද නිෂ්පත්තියහි ලා වැදගත් වනුයේ වාදකයා වාඩි වී සිටින ඉරියව්ව ඇතුළු සිරුරේ සිදු වන සෑම අංග චලනයක් ම දෑත් හරහා නාද නිෂ්පාදන ක්‍රියාවට සම්බන්ධ වන නිසා ය. ඍජු ව තබා-ගන්නා සිරුරක් තබ්ලා වාදකයකු සඳහා වැදගත් වන අතර විශාල ලෙස සිරුරේ සිදු කරනු ලබන චලනයක් නාද නිෂ්පාදනයෙහිලා අහිතකර ව බලපායි. 

බාහුවේ හා අතේ පිහිටීම
තබ්ලා ශෛලීන් සම්බන්ධ ව මෙන් ම නාද නිෂ්පදනයෙහි ලා  බලපාන ප්‍රබල සාධකයකි බාහුවේ හා අතේ පිහිටීම. අතේ පිහිටීමේ සුලු වෙනස් කිරීමක් නාදය කෙරෙහි ප්‍රබල ව බලපායි. මෙය පුද්ගල ශාරීරික ස්වභාවය අනුව විවිධාකාර වෙයි. 

අඟිලි පිහිටුවීම හා හැසිරවීම.
නිවැරදි ව ඇඟිලි හැසිරවීම ඉතාමත් සියුම් වූ කරුණකි. ඇඟිලි පිහිටුවීමේ ස්වභාවය තබ්ලාවෙන් ධ්වනිත වන නාදය කෙරෙහි ප්‍රබල ව බලපායි. ඇඟිලි පිහිටුවීමේ සුලු වෙනසකින් වුව ද එක ම ස්ථානයකට ආඝාතයෙන් ධ්වනිත වන නාදයෙහි විවිධත්වයක් ඇති වෙයි. මේ නිසා නිරවද්‍ය ශිල්ප ක්‍රම සහිත වූ ඇඟිලි හැසිරවීම ගුරු ඇසුරෙහි ම සිදු කළ යුත්තකි. කෙසේ වෙතත් තබ්ලා වාදනය හදාරන්නන් තුළ බහුල ව ම දක්නට ඇති වැරදි ඇඟිලි භාවිත පහත ආකාරයෙන් දැක්විය හැකි ය.


රූපය 7 - ඇඟිලි තබා-ගැනීමේ වැරදි ක්‍රම- ඩග්ගාව( බායාං) වාදනයේ දී අනවශ්‍ය ලෙස සුළැඟින්න ඔසවා සිටීම සහ දහිනාව වාදනයේ දී සුළඟිල්ල ගජරාවට තද-කර සිටීම


රූපය 8 - ඇඟිලි තබා-ගැනීමේ වැරදි ක්‍රම දහිනාව වාදනයේ දී සුළැඟිල්ල පූඩියෙන් ඉවත තබා-ගැනීම සහ මහපටැඟිල්ල පහතට යොමුවන සේ තබා ගැනීම 

මහපටැඟිල්ල සහ සුළඟිල්ල නාද උත්පාදනයෙහි ලා ඍජු දායකත්වයක් නොදක්වන ඇඟිලි ද්වයක් වුව ද අතේ සමබරතාව පවත්වාගැනීම, උත්පාදනයවන ධ්වනියෙහි ගැඹුරුබව හා දෑතෙහි ශීඝ්‍ර චලනය ආදී කරුණු කෙරෙහි ප්‍රභල ව ම බලපාන ඇඟිලි ලෙස නම් කළ හැකි ය. මේ නිසා එම ඇඟිලිවල නිවැරදි හැසිරවීම හා පිහිටුවීම සැලකිල්ලට ලක්විය යුතු කරුණකි.



Post a Comment

Previous Post Next Post