තබ්ලා භාෂාව

තබ්ලා භාෂාව



සංගීතයෙන් ලැබෙන ආස්වාදය අලෞකික යත චමත්කාර ය. සංගීත රසය බ්‍රහ්මාස්වාදයේ සහෝදරයා යැ යි පඬුවන් හඳුන්වන්නේත් එයින් ලැබෙන වින්දනය අලෞකික පක්ෂයට බෙහෙවින් නැඹුරුවක් දක්වන නිසා ය. අලෞකික චමත්කාර ජනක රසවින්දනයක් මනසේ උද්දීපනය වනුයේ තවත් එවැනි ම නිර්මාණශීලී මනසකින් නිකුත් වන සියුම් හැඟීම් ධාරාවක ප්‍රතිඵලයක් ලෙසිනි. මේ හැඟීම් ධාරාව පුද්ගලයන් ගේ ජීවිත අනුභූතීන්ට අනුව විවිධාකාර වෙයි. විවිධ රස භාවයන් උද්දීපනය කිරීමට සමත් තබ්ලා වාදන ශෛලි ගණනාවක් කලා ලොවෙහි බිහි වීම විවිධාකාර වූ සියුම් හැඟීම් ධාරාවන් ගේ එක් අවසාන ප්‍රතිඵලයකි . 

තබ්ලාවෙන් ධ්වනිත කෙරෙන අක්ෂරවල සම්මතාර්ථයක් ඇත. එසේ ම ධ්වනිතාර්ථයක් ද ඇත. මතු පිටින් ස්පර්ශ කෙරෙන සම්මතාර්ථයෙන්  ඔබ්බට ගිය කල ලැබෙන ධ්වනිතාර්ථය වඩාත් ගැඹුරු මෙන් ම ආධ්‍යාත්මය හා මනා ව සුසංයෝජනය වෙයි. එයින් උද්දීපනය වන සියුම් වින්දනය තබ්ලාව මිනිස් සන්තානයන්හි ගැඹුරින් ම තැන්පත් වීමට හේතු වෙයි. 

තබ්ලා භෂාව

ලොව ඇති සෑම අවනද්ධ භාණ්ඩයකට ම එයට ම ආවේනික වූ නාදයක් නොහොත් භාෂාවක් ඇත. මේ අතරින් බොහෝ අවනද්ධ භාණ්ඩ උසස් සංනිවේදන හැකියාවකින් යුත් පරිපූර්ණත්වයට පත් භාෂා ඇසුරු කරනා බව සඳහන් කළ යුතු ය. තබ්ලාව ද මේ ආකාරයෙන් උසස් භාෂාවක් ඇසුරු කරනා අවනද්ධ භාණ්ඩයකි. තබ්ලාවෙන් උත්පාදනය වන ධ්වනියෙහි සම්මතාර්ථයට ඇතුළතින් දිවෙන ධ්වනිතාර්ථය වටහා-ගැනීම මනා පරිචයකින් සිදු කළ යුත්තකි. 

තබ්ලා අක්‍ෂර

තබ්ලා අක්‍ෂර යනුවෙන් හැඟවෙන්නේ තබ්ලාවෙන් නිකුත්වන නාද සඳහා යොදනු ලබන නාම ය. පුරාණ ශාස්ත්‍රඥයින් විසින් තම චින්තන ශක්තිය උපයෝගි කර-ගෙන තබ්ලාවේ මුහුණතෙහි විවිධ ස්ථානයන්හි සිදු කරනු ලැබූ විවිධ ආකාරයේ ආඝාත හේතුවෙන් උත්පන්න වන්නා වූ නිශ්චිත ධ්වනි හඳුනා-ගැනීමට යෙදූ අක්‍ෂර රූප සඳහා සිදු කළ නාමකරණ අවනද්ධාක්‍ෂර ලෙස හැඳින්වෙයි.

අක්ෂර සහ වර්ණ

අක්‍ෂර හා වර්ණ යන වදන් දෙකක් භාවිතයේ ඇති මුත් ඒවා ඇතැම් විට එක ම අර්ථයෙන් යොදා-ගැනේ. එහෙත්  අක්‍ෂර හා වර්ණ පිළිබඳ විග්‍රහ කිරීමේ දී අක්‍ෂරයක් ඇසුරෙහි වර්ණයක් උපදින බව අනුමාන කළ හැකි ය. මෙය භාෂාවක පවතින අක්‍ෂර හා වර්ණ අතර සම්බන්ධතාවට වඩා වෙනස් වූවකි. අක්‍ෂරයක් අවනද්ධ භාණ්ඩයක් මතින් උත්පාදනය වන්නා වූ ස්වභාවයෙන් වර්ණයක් බිහි වන්නේ යැ යි තර්ක කිරීමේ යම් සාධාරණත්වයක් ඇත. අවනද්ධ අක්‍ෂර කොපමණ ඇතත් මේවා භාණ්ඩ තුළින් උත්පාදනය වන ස්වභාවයෝ එකිනෙකට වෙනස් වෙති. උදාහරණ වශයෙන් ‘ධා’ අක්‍ෂරය තබ්ලාව හා පඛාවජය මතින් උත්පාදනය වීමේ දී ධ්වනිත වන නාදයෙහි ස්වභාවය (Tone color)  වර්ණ යටතෙහි විග්‍රහ කළ හැකි ය. එසේ ම යම් අක්‍ෂරයක් වාදකයින් කීප දෙනකු අතින් උත්පාදනය වීමේ දී එම නාදයන්හි ඇති වෙනස් භාවය ද වර්ණ යටතේ විස්තර කළ හැකි ය. 

තබ්ලා දශ වර්ණ

තබ්ලාවෙන් උත්පාදනය වන්නා වූ වර්ණ දහයකි.

1. තබ්ලාවේ දකුණු කොටසින්(දහිනා) උත්පාදනය වන වර්ණ හයකි.
      1. නා / තා
      2. තිං / ති
      3. දිං / ථුං
      4. තෙ
      5. තූ
      6. රි / ට

2. තබ්ලාවෙ වම් කොටසින්(බායාං) උත්පාදනය වන වර්ණ දෙකකි.
      1. ඝ / ගෙ
      2. කා / කෙ/  කි/  කත් 

3. කොටස් දෙකම භාවිතයෙන් උත්පාදනය වන වර්ණ දෙකකි.
      1. ධා
      2. ධිං


අක්ෂර වර්ගීකරණය

වාදනය වන ආකාරය අනුව සහ නාද නිෂ්පත්ති ස්වභාවය අනුව තබ්ලා අක්ෂර වර්ගීකරණයක් සිදු කෙරෙයි.

වාදනය වන ආකාරය අනුව අක්ෂර වර්ගීකරණය

තබ්ලා වාදනය සඳහා යොදාගැනෙනා සමස්ත අක්ෂර ප්‍රධාන කොටස් දෙකකි.
1. ශුද්ධ අක්ෂර
2. මිශ්‍ර අක්ෂර

ශුද්ධ අක්ෂර
එක් අතකින් නැතහොත් තබ්ලාවේ එක් කොටසකින් පමණක් වාදනය වන අක්ෂර ශුද්ධ අක්ෂර නමින් හැඳින්වෙයි.
උදා: නා, තා, ගෙ, කත් ......

මිශ්‍ර අක්ෂර
දෑතින් ම නැතහොත් තබ්ලාවේ කොටස් දෙකම භාවිත කරමින් වාදනය වන අක්ෂර මිශ්‍ර  අක්ෂර නමින් හැඳින්වෙයි.
උදා ධා, ධිං, ධෙත්.......... 

නාද නිෂ්පත්ති ස්වභාවය අනුව අක්ෂර වර්ගීකරණය

නාද නිෂ්පත්ති ස්වභාවය අනුව අක්ෂර වර්ග දෙකකි
1. කුලා අක්ෂර 
2. බන්ද් අක්ෂර

කුලා අක්ෂර
යම් අක්ෂරයක් වාදනයේ දී උත්පාදනය වන ධ්වනිය විවෘත (අනුනාදී) ස්වභාවයෙන් යුක්ත වූ විට එම අක්ෂරය කුලා අක්ෂරයක් ලෙස හැඳින්වෙයි.

බන්ද් අක්ෂර
යම් අක්ෂරයක් වාදනයේ දී උත්පාදනය වන ධ්වනිය සංවෘත ( අනුනාදී නොවන) ස්වභාවයෙන් යුක්ත වූ විට එම අක්ෂරය බන්ද් අක්ෂරයක් ලෙස හැඳින්වෙයි. 

(මෙම වර්ගීකරණයේ දී පාදක කර ගැනෙනුයේ නාද නිෂ්පත්ති ස්වභාවය වන බැවින් යම් අක්ෂරයක් අනුනාදී ස්වභාවයෙන් වාදනය කළ විට එය කුලා අක්ෂරයක් වන අතර එය ම අනුනාදී නොව න ආකාරයට වාදනය කළ විට බන්ද් අක්ෂරයක් වෙයි).

වාදන ශිල්ප විධි

යම් අක්ෂරයක් වාදනයේ දී එහි වාදන ශිල්ප ක්‍රමය හෙවත් වාදනය කරන ආකාරය කරුණු තුනක් පදනම් ව වෙනස් වෙයි
1. යම් අක්ෂරයක් හා සම්බන්ධ වී ඇති ඇති අනෙකුත් අක්ෂර අනුව
2. යම් අක්ෂරයක් යෙදී ඇති පද වර්ගය අනුව
3. යම් අක්ෂරයක් වාදනය වන තබ්ලා ශෛලිය අනුව

1. යම් අක්ෂරයක් එයට ඉදිරියෙන් හා පසුපසින් සම්බන්ධ වී ඇති අක්ෂරය අනුව වාදනය වන ස්වභාවය වෙනස් විය හැකි ය.
උදාහරණ ලෙස 'ට' අක්ෂරය ගනිමු. 'ට' අක්ෂරය 'ති' අක්ෂරය සමග සම්බන්ධ වූ විට බිහි වන සංයුක්ත අක්ෂරය 'තිට' වෙයි. මෙවිට 'ට' අක්ෂරය වාදනය වනුයේ අතේ දබරැඟිල්ලෙන් ය. 'ට' අක්ෂරය 'ති රි කි' යන අක්ෂර තුන ම සමග සම්බන්ධ වූ විට බිහි වන සංයුක්ත අක්ෂරය 'තිරිකිට' වෙයි. මෙවිට 'ට' අක්ෂරය වාදනය කළ යුත්තේ දබරැඟිල්ලෙන් නොව මැදැඟිල්ල හා වෙදැඟිල්ල යන ඇඟිලි දෙකෙන් ම ය.

2. යම් අක්ෂරයක් යෙදී ඇති පද වර්ගය අනුව ද එහි වාදන ශිල්පක්‍රමය සහ නාද නිෂ්පත්තිය වෙනස් වෙයි.
උදාහරණ ලෙස 'තා' අක්ෂරය ගනිමු. 'තා' අක්ෂරය යෙදී ඇත්තේ මුඛඩාවක නම් එය වාදනය විය යුත්තේ දබරැඟිල්ලෙන් දහිනාවේ චාන්ටිය මත ය. එසේ ම එයින් උත්පාදනය විය යුත්තේ මෘදු ධ්වනියකි. එහෙත් 'තා' අක්ෂරය ටුකඩාවක යෙදෙන විට එය වාදනය කළ යුත්තේ දබරැඟිල්ලෙන් දහිනාවේ ලවය මත වන අතර උත්පාදනය වන ධ්වනිය මුඛඩාවට සාපේක්ෂ ව ප්‍රභලතාවකින් යුක්තය. එසේ ම එය පරන්වල යෙදෙන විට දබරැඟිල්ලෙන් ලවය මත වාදනය වුව ද උත්පාදනය විය යුතු ධ්වනිය ටුකඩාවකට සාපේක්ෂ ව ප්‍රභලතාවකින් විය යුතු ය.

3.යම් අක්ෂරයක් වාදනය වන තබ්ලා ශෛලිය අනුව ද එහි වාදන ශිල්ප ක්‍රමය වෙනස් විය හැකි ය. 
මෙය ඒ ඒ වාදන ශෛලියට අනුගත වූ ශිල්ප ක්‍රමයට අනුව සැකසෙන්නකි.


Post a Comment

Previous Post Next Post