ලක්නවු ගුරුකුලය සහ ශෛලිය


දිල්ලි ගුරුකුලයේ නිර්මාතෘ උස්තාද් සිධාර් ඛාං ගේ මුණුබුරු සිතාබ් ඛාං ගේ පුතුන් දෙදෙනා වන මෝදු ඛාං හා බඛ්ෂු ඛාං යන දෙදෙනා ගෙන් ලක්නවු ගුරුකුලය පැවතගෙන එන්නේ ය. 

බඛ්ෂු ඛාං ගේ පුත් වන මම්මු ඛාං ගත් පද වාදනයෙහි දක්ෂයකු වූ අතර සිසුවකු වන සලාරි ඛාං රෞ නැමැති පද වාදනයෙහි දක්ෂයකු වෙයි. බඛ්ෂු ඛාං ගේ තවත් දක්ෂ සිසුවකු වන විලයාත් අලී ඛාං පසු කලෙක ෆරුකාබාද් නමින් අලුත් ගුරුකුලයක් පිහිටුවීමෙහි ලා පුරෝගාමී විය. මෝදු ඛාං ගේ සිසුවකු වන රාම් සහාය බෙණාරස් ගුරුකුලය බිහි කළේ යගුරුකුලයක් පිහිටුවීමෙහි ලා පුරෝගාමී විය. 

අබිද් හුසේන් ලක්නවු ගුරු කුලයේ කැපී පෙනෙන වාදන ශිල්පියකු වූ අතර එවකට ලක්නවු පරපුරේ ඛලිෆා තනතුරෙන් ද හේ පිදුම් ලැබීය. ඔහු ගේ ඥාති පරපුරට අයත් වජිද් හුසේන් ඛාං ද, ඔහු ගේ පුත්‍රයා වන අෆක් හුසේන් ඛාං ද  ලක්නවු පරපුරේ අතිදක්ෂ වාදකයෝ වූවා සේ ම පරපුරේ ඛලිෆා තනතුර දැරීමට තරම් ශාස්ත්‍රීය ඥානයෙන් ද අග තැන්පත් වූ හ. අෆක් හුසේන් ඛාං ගේ එක් පුත්‍රයකු වන ඉල්මාස් හුසේන් ඛාං ලක්නවු ගුරු කුලයේ වත්මන් අධිපත්‍යය දරා සිටියි.


ලක්නවු ශෛලිය

ක්‍රි.ව. 1738 දී පර්සියාවේ නාදිර් ශාහ දිල්ලිය ආක්‍රමණය කිරීමෙන් පසු දිල්ලියේ රජ කළ මුහම්මද් ශාහ ගේ මනස කලාවෙන් ඈත් වී තම රාජධානිය ආක්‍රමණිකයන් ගෙන් රැක-ගැනීම කෙරෙහි යොමු විය. මේ නිසා රාජ සභා සංගීතය කෙරෙහි ඇති වූ අයහපත් වාතාවරණය හේතුවෙන් දිල්ලියේ විසූ බොහෝ කලාකරුවෝ දිල්ලිය අත හැර වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වූහ. ලක්නවු නගරය මේ ආකාරයට කලාකරුවන් සංක්‍රමණය වුණු එක් නගරයකි. ලක්නවු රාජ සභාවේ සේවය පිණිස දිල්ලියේ තබ්ලා වාදකයින් ව සිටි බඛ්ෂු ඛාං හා මෝදු ඛාං ලක්නවු බලා පැමිණියෝ ය. මෝදු ඛාං සහ බඛ්ෂු ඛාං දිල්ලියේ උස්තාද් සිධාර් ඛාං ගේ මුණූබුරෝ ය. මොවුන් ගේ ලක්නවු ආගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් තබ්ලා ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් පෙරළමින් ශ්‍රේෂ්ඨ තබ්ලා වාදකයින් ගණනාවක් බිහි කළ ලක්නවු තබ්ලා ඝරාණාව බිහි විය.

ඛ්‍යාල්, ටප්පා, ඨුම්රි ආදී ශෘංගාරාත්මක ගායනා මෙකල ලක්නවුහි ද ප්‍රචලිත ව පැවතිණ. එමෙන් ම කථක් නර්තනයෙහි විශාල පිබිදීමක් ද මෙකල ලක්නවු නගරයේ විය. ශාංගාරාත්මක ගායනා සඳහා සහාය වාදනයේ දී එවකට ප්‍රචලිත අවනද්ධ භාණ්ඩයක් වූ පඛාවජය අබිබවා තබ්ලාව පෙරට එමින් තිබූ බැවින් දිල්ලියේ සිට පැමිණි තබ්ලා වාදකයින්ට ලක්නවුහි දී ද නිසි ස්ථානය හිමි විය. කෙසේ වුවත් එවකට ලක්නවුහි ඉහළ ප්‍රචාරයක් තුබූ කථක් නෘත්‍යය සඳහා තබ්ලාවෙන් සහාය වීමේ දී ගැටලු සහගත තත්ත්‍වයක් මතු විය. කථක් නර්තනය සඳහා අවශ්‍ය වූ ප්‍රබල ව වැයෙන දීර්ඝ ගත්, පරන්, චක්කර්දාර්  ආදී පද වර්ග දිල්ලි වාදන ශෛලියෙන් මනා ව වාදනය කිරීමට නොහැකි වීම නිසා දිල්ලි වාදන ශෛලියෙන් වෙනස් වූ නව වාදන ක්‍රමයක අවශ්‍යතාව පැන-නැඟිණ. දිල්ලි ශෛලියේ දී චාන්ටිය මත වාදනය වන බන්ද් අක්ෂර කථක් නෘත්‍යය සඳහා යෝග්‍ය ආකාරයට පඛාවජයේ වාදන ශෛලිය ද ඇසුරු කරමින් ලවය මත හඬ විහිදී යන අයුරින් වාදනය කිරීම ද, මෘදු නාදයක් උපදවා-ගැනීමට දකුණු අතේ ඇඟිලි දෙකක් පමණක් භාවිතා කරමින් දිල්ලි වාදකයන් අනුගමනය කළ වාදන ක්‍රමය අක්ෂර ප්‍රබල ව වැයීමට පහසු ආකාරයට ඇඟිලි හතරක් උපයෝගී කර-ගනිමින් වාදනය කිරීම ද, නව තබ්ලා වාදන ශෛලියක උත්පත්තියට වස්තු බීජය විය. මේ ආකාරයට දිල්ලි ශෛලිය මෙන් බන්ද් නොවුණා වූ ද, පඛාවජයේ මෙන් කුලා නොවුණා වූ ද, වාදන ශෛලියක් සහිත ව ගොඩ නැගූණු මෙම ශෛලිය ලක්නවු ශෛලිය නමින් ප්‍රචලිත විය. 

දිල්ලි ශෛලියෙන් බොහෝ වෙනස්කම් සහිත ව සැකසී ඇති ලක්නවු ශෛලිය පඛාවජ් වාදන ශෛලිය බොහෝ දුරට ආභාසයට ගෙන ඇත. ස්‍යාහි හා ලව යන ස්ථාන මත වැඩි වශයෙන් අක්ෂර නිෂ්පදනයෙහි නැඹුරුවක් දක්නට ලැබෙයි. දිල්ලි ශෛලිය මෙන් නො ව, දකුණු අතේ දබරැඟිල්ල, මැදැඟිල්ල, වෙදැඟිල්ල හා සුලැඟිල්ල යන ඇඟිලි හතර ම නාද නිෂ්පාදන කාර්යයෙහි යොදා-ගැනීමක් මෙම ශෛලිය තුළ දක්නට ලැබෙයි. ස්‍යාහි හා ලව යන ස්ථාන බහුල ව යොදා-ගනිමින් හඬ විහිදී-යන ආකාරයේ (කුලා) අක්ෂර වාදන ක්‍රමයක් මෙහි ඇත. දිල්ලි ශෛලිය තුළින් යාමට නොහැකි වූ මාවත් ඔස්සේ ගමන් කර, ශාස්ත්‍රයෙන් හා ශිල්පීයත්වයෙන් අනූන වූ නව වාදන ශෛලියක් බිහි කිරීමට ලක්නවු වාදකයෝ යත්න දරා ඇත. ලක්නවු ශෛලියෙන් ප්‍රබන්ධ වන කායදා දිල්ලි ශෛලියට සාපේක්ෂ ව දීර්ඝ බවක් දක්වන අතර විවිධ ලයකාරී සහිත ටුකඩා, නෞහක්කා, ගත්, පරන්, චක්කර්දාර්, තිපල්ලි, චෞපල්ලි, පාංච්පල්ලි ආදී පද වර්‍ග තබ්ලාවෙන් වාදනය කිරීම ආරම්භ කිරීම ලක්නවු ඝරාණාවෙන් සිදු වූ විශේෂ මෙහෙවරක් වෙයි. ගත් ලක්නවු ශෛලියෙහි විශේෂත්වයක් දක්වන පද වර්ගයකි. අනෙකුත් ශෛලි තුළ දක්නට නොලැබෙන, එහෙත් ලක්නවු ශෛලියට ම ආවේනික වූ විශේෂ වාදන ශිල්ප ක්‍රමයක් ඇතැම් ලක්නවු ගත් වාදනයේ දී අනුගමනය කෙරේ.  ඉතා වේගවත් අවස්ථාවක් දක්වා ගොඩ නැඟෙමින් වාදනය වන්නා වූ මේ වර්ගයේ ගත් ප්‍රබන්ධ ශ්‍රවක මනසෙහි අපූර්ව ධ්වනි මාලාවක් චිත්‍රනය වන අයුරින් වාදනය කිරීමට ලක්නවු ඝරාණාවේ වාදකයෝ සමත් වන අතර මෙම ගත් මගින් ගැඹුරු ධ්වනිතාර්ථයක් ද ජනිත වෙයි. 

 රංග් යන පද විශේෂය ලක්නවු ශෛලියට ආවේනික ය. ලක්නවු හි ඨුම්රි ගායනා ප්‍රචලිත හෙයින් ලක්නවු වාදකයෝ ලග්ගි හා ලඩී වාදනයෙහි ද නිපුණ වෙති. දිල්ලි ශෛලියේ මෙන් නො ව, ඩග්ගාව දෝලනය කිරීමක් සහිත ව වාදනය කිරීමක් මෙම ශෛලියෙහි දක්නට ලැබේ. එසේ ම ඩග්ගාව වේගවත් ව වාදනය කිරීමක් ද ලක්නවු වාදකයන් තුළ දක්නට ලැබෙන ලක්ෂණයකි. කථක් නර්තන පිණිස තබ්ලාව යොදා-ගැනීම ලක්නවු ඝරානාව මගින් සිදු වී ඇති සුවිශේෂ කාරණයකි. ලක්නවු වාදකයන්ට කථක් නෘත්‍යයෙහි ආභාසය බෙහෙවින් ලැබුණෙන් පද වාදනයට පෙර එය කටින් උච්චාරණය කර වාදනය කිරීමේ ක්‍රමය හුරු විය. 

තගන්න, ථුංග, ධෙත්තා ගිඩාන ගිංතඩාන, ධෙත්ධෙත්, ක්ඩාං, තකතක ආදී පද ඛණ්ඩ ලක්නවු ශෛලියේ  ප්‍රබන්ධයන් උදෙසා වැඩි වශයෙන් උපයෝගි කර-ගනී. ධෙරධෙර, ධාගෙතිට, කඩධාතිට, ධිටධගෙන ආදී අක්ෂර ඛණ්ඩ ලක්නවු ශෛලිය සංකේතවත් කරන අක්ෂර ඛණ්ඩ ලෙස හැඳින්විය හැකි ය. 

Post a Comment

Previous Post Next Post