තබ්ලා වාදන ශෛලියක් සංගීත ලෝකයෙහි මුලින් ම ජනිත වූයේ ඒ සඳහා සමාජ අවශ්‍යතාවක් තිබූ යුගයක ය. පවතින අවනද්ධ භාණ්ඩවල ආවේනික නාද හා වාදන ක්‍රම සංගීත ලෝකයේ අවශ්‍යතාවන් සපුරාලීමෙහි අසමත් වූ යුගයක ය. එම අඩුපාඩුකම් හා නොහැකියාවන් මග හරවාලමින් තබ්ලාව නැමැති අවනද්ධ භාණ්ඩය හා එහි වාදන ශෛලිය ප්‍රභවය ලැබුවේ එවකට පැවති තවත් බොහෝ අවනද්ධ භාණ්ඩයන්හි ඇසුර ලබමිනි. තබ්ලා වාදන ශෛලිය බිහි වීමෙහිලා මූලික ව ම පදනම් වී ඇත්තේ පඛාවජයේ හා නක්කරාවේ වාදන ශෛලි හා නාද යැ යි පිළිගැනීමක් ඇත. පඛාවජය ධ්‍රැපද්-ධමාර් ගායන ශෛලි මෙන් ම කථක් නෘත්‍ය සඳහා වාදනයෙන් සහාය වීමට යොදා-ගන්නා වූ ප්‍රබල, ගැඹුරු නාදයක් ධ්වනිත කෙරෙන අවනද්ධ භාණ්ඩයකි. නක්කරා යනු ෂහනායි සඳහා සහාය වාදනය කිරීමට යොදා-ගන්නා වූ සිහින් නාදයක් ධ්වනිත කෙරෙන අවනද්ධ භාණ්ඩයකි. පඛාවජයේ ප්‍රබල පදාක්ෂරවල ගැඹුරු නාදය හා නක්කරාවේ මෘදු නාදයේ සංකලනයෙන් තබ්ලා වාදන ශෛලිය බිහි වී ඇතැ යි මේවායේ වාදන ශෛලි හා නාද විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි. මීට අමතර ව ඩෝලක්, දුක්කඩ, තාශා ආදී අවනද්ධ භාණ්ඩවල වාදන ශෛලීන් ද තබ්ලා වාදන ශෛලිය කෙරෙහි බලපා ඇතැ යි කිව හැකි ය.
විවිධ වාදන ශෛලීන් හි පවතින වෙනස්කම් ආකාර තුනකින් විද්‍යමාන වෙයි.
1. වර්ණ හෙවත් අක්ෂරයන් වාදනයේ දී ඇඟිලි හසුරු වන ආකාරය.
2. වර්ණ හෙවත් අක්ෂරයන් නාද වන ස්වභාවය.
3.අක්ෂර සංයෝජනය හා පද ප්‍රබන්ධය වී ඇති ආකාරය.
විවිධ වාදන ශෛලි බිහි වීමෙහි ලා මූලික ව ම හේතු වී ඇත්තේ ඉහත කරුණු තුන ම පදනම් වී ඇති වුණු යම් යම් සමාජ අවශ්‍යතා ය. ඛ්‍යාල්, ඨුම්රි වැනි මෘදු මොළොක් ගායනයන් උදෙසා මෘදු නාදයක් නිකුත් වන අවනද්ධ භාණ්ඩයක අවශ්‍යතාව පැන නැගුණේ යම් සේ ද, එම භාණ්ඩය ම කථක් නර්තනයක දී අක්ෂර ප්‍රබල ව හා ගාම්භීර ව වාදනය කරන භාණ්ඩයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ඇති වූයේ යම් සේ ද, පඛාවජයෙන් වාදනය වන්නා වූ පදාක්ෂර ඒ ආකාරයෙන් ම වෙනත් අවනද්ධ භාණ්ඩයකින් නව වාදන ශෛලියකට අනුව වාදනය කිරීමේ නිර්මාණශීලී පිපාසය ඇති වූයේ යම් සේ ද, මේ ආදී සෑම කරුණක ම අවසාන යහපත් ප්‍රතිඵලය නව තබ්ලා වාදන ශෛලියක් බිහි වීම ය.
උත්තර භාරතීය සංගීතය කෙරෙහි විවිධ සංස්කෘතීන්හි බලපෑම එල්ල වීමෙන් භාරතීය සංගීතයෙහි ප්‍රවණතා කීපයක් ම ඇති විය. විශේෂයෙන් ම එතෙක් භාරතයේ ප්‍රචලිත ව පැවති ගැඹුරු රසයකින් යුත් ධ්‍රැපද්-ධමාර් ගායන ශෛලි අබිබවමින් වඩාත් මෘදු බවින් යුක්ත වූ හා ශෘංගාරාත්මක රසයකින් යුක්ත වූ ගායනා ශෛලි ක්‍රමයෙන් ප්‍රචලිත විය. දිල්ලියේ මුස්ලිම් රාජධානිය ඇති වීමෙන් අනතුරු ව භාරතීය-මුස්ලිම් ප්‍රකාර දෙකේ සංකලනයෙන් බිහි වුණු නව සංගීත ශෛලියක් දිල්ලි රාජ සභාව තුළ ද ප්‍රචලිත විය. 1719 සිට 1748 තෙක් දිල්ලියේ රජ කළ මොහම්මද් ශාහ ශෘංගාරාත්මක ගීත ප්‍රිය කරන්නකු විය. මේ නිසා ඔහු ගේ රාජ සභාව තුළ ඛ්‍යාල්, ඨුම්රි, කව්වාලි, ගස‘ල් ආදී ගීත ශෛලිවලට ද, එවන් ගායන ශෛලි අනුගමනය කළ කලාකරුවන්ට ද රාජ්‍ය අනුග්‍රහය ලැබිණ. එසේ ම එවකට උත්තර භාරතය තුළ පැවති ගැඹුරු හා වඩාත් ශාස්ත්‍රීය ධ්‍රැපද්, ධමාර් වැනි ගායන ශෛලි අබිබවමින් ඛ්‍යාල්, ඨුම්රි වැනි ගායන ශෛලිවලට ජන රුචිය ද වැඩි විය. මෘදු මොළොක් බැවින් යුක්ත වූ හා ශෘංගාරාත්මක රසයක් දනවන්නා වූ ගීතවලට එවකට ප්‍රචළිත ව පැවති මෘදංග, පඛාවජ්, ආදියේ නාද හා වාදන ශෛලි නො ගැලපීම හේතුවෙන් නව වාදන ශෛලියකින් හා නාද රටාවකින් යුත් භාණ්ඩයක අවශ්‍යතාව පැන නැගුණෙන් තබ්ලා නැමැති භාණ්ඩයේ නවීන වාදන ශෛලියක් බිහි විය.
ආරම්භයේ දී තබ්ලාව සහාය වාද්‍ය භාණ්ඩයක් ලෙස පැවතිය ද, එහි ඇති සුවිශේෂ මාධූර්යය හා නාද නිෂ්පාදන ගුණය හේතුවෙන් ඉතා පොහොසත් වූ ශිල්පයකින් හා ශාස්ත්‍රයකින් පරිපෝෂිත වූ භාණ්ඩයක් බවට වර්තමානයේ දී තබ්ලාව පත් වී ඇත. සියවස් දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ තබ්ලා ශාස්ත්‍රය හා වාදන ශෛලිය ලබා ඇති ශීඝ්‍ර දියුණුව අවනද්ධ භාණ්ඩයක් වශයෙන් තබ්ලාවේ ඇති පරිපූර්ණත්වය හා නිර්මාණශීලී ගුණය මොනවට විදහා පායි.
වර්තමාන තබ්ලා ශාස්ත්‍රය නැමැති මහා ගංගාව ප්‍රධාන අතු ගංගා හයක පෝෂණය ලබමින් පවතින බව පැවසිය හැකි ය. එනම්, ප්‍රධාන තබ්ලා වාදන ශෛලි හයක ශිල්පයේ හා ශාස්ත්‍රයේ ඇසුර ලබමින් ප්‍රවර්ධනය වන ශාස්ත්‍රයක් ලෙස තබ්ලා ශාස්ත්‍රය සැලකීම යුක්ති සහගත ය. මිනිස් මනසේ සියුම් නිර්මාණශීලීත්‍වය හා සමාජ අවශ්‍යතා ව මත අතීතයේ දී විවිධ හැඩරුව ගත් ශෛලි ගණනාවක් බිහි වුව ද, වත්මන් තබ්ලා ශෛලිය නැමැති මහා ගංගාව පෝෂණය කරන්නා වූ අතු ගංගාවෝ ද මෙම ශෛලීහු ම වෙති. විශ්ව ගම්මානයක් තුළ දියුණු තාක්ෂණයක් හරහා ලොව කුඩා වී ඇති බැවින් පුරාණයේ මෙන් නො ව, ඒ ඒ ශෛලීන්හි විශේෂ වූ ලක්ෂණ එකිනෙක හා මුහු වෙමින් වත්මන් තබ්ලා ශාස්ත්‍රය ගොඩ නැඟීම නොවැළැක්විය හැකි දෙයක් සේ ම එය අපේක්ෂා කළ හැකි දෙයක් ද වෙයි.
තබ්ලාව වටා ප්‍රධාන ශෛලි හයක් එක්රොක් වීම තබ්ලා නැමැති අවනද්ධ භාණ්ඩයේ හා තබ්ලා වාදන ශෛලියේ සියුම් භාවය මොනවට විදහා දක්වයි. තබ්ලාවේ එක ම ස්ථානයකට වුව ද කෙරෙන ආඝාතයකින් නැඟෙන ධ්වනියේ විවිධත්වයක් ඇති කිරීම අතේ හෝ ඇඟිලිවල ඉතා සුළු වෙනස් කිරීමකින් වුව ද හැකි වීම සියුම් නාද නිෂ්පදන හැකියාවක් ඇති භාණ්ඩයකින් ම පමණක් සිදු කළ හැකි කාර්යයකි. තබ්ලාව (දහිනාව) ස්වර දෙකක් පමණක් නිපදවිය හැකි භාණ්ඩයක් වුව ද ඒ මතින් උපදවා-ගත හැකි නාදයන් විවිධ යත ධ්වනි රටා ඉමහත් ය. කෝටුවලින් හෝ සම්පූර්ණ අත්ල ම භාවිතා කර වාදනය කරනු ලබන භාණ්ඩයක් මෙන් නො ව, නාද නිෂ්පාදනයෙහි ලා අතේ ඇඟිලි භාවිතා කිරීම මධුර ධ්වනියක් හා එහි සියුම් භාවයක් ඇති වීම කෙරෙහි බලපායි.
කුමන පුද්ගලයකු හෝ කුමන අවස්ථාවක් පදනම් වුව ද, භාරතයේ බිහි වුණු විවිධ තබ්ලා ශෛලි ඒවා බිහි වීමට කේන්ද්‍ර වුණු නගර හෝ ග්‍රාම නාමයෙන් ම හඳුන්වනු දක්නට ලැබේ.
- දිල්ලි ශෛලිය
- ලක්නවු ශෛලිය
- අජරාඩා ශෛලිය
- ෆරුකාබාද් ශෛලිය
- බණාරස් ශෛලිය
- පංජබ් ශෛලිය