තබ්ලා සම්භවය 04 - තබ්ලා ප්‍රභවය සම්බන්ධ විවිධ මත

 තබ්ලා ප්‍රභවය සම්බන්ධ විවිධ මත

තබ්ලා යන වචනයේ උත්පත්තිය පිළිබඳ ව අදහස් දක්වමින්, ‘ත’ යන්න තාල යන්නෙනුත්, ‘බ’ යන්න බෝල් යන්නෙනුත්, ‘ල’ යන්න ලය යන්නෙනුත් ව්‍යුත්පන්න ව තබ්ලා යන වචනය නිර්මාණය වී ඇතැයි මතයක් පවතින බව ඒ.කේ. සේන්(1994 ,p.44) පවසයි. විනයක්රාව් පෙන්ඩාරකර්(1947, p.1) මේ පිළිබඳ ව අදහස් දක්වමින්, තබ්ලා යන වචනය පර්සි භාෂාවේ වචනයක් වූ තබ්ල යන්නෙන් තද්භව වූවක් යැ යි පවසයි. තබ්ල- යනු නක්කරා යන අර්ථය දෙන්නකි.

තබ්ලාව වර්තමානයේ ප්‍රචලිත එක් අවනද්ධ භාණ්ඩයක් වුව ද එහි ප්‍රභවය සම්බන්ධ ස්ථිර අදහසක් මේ වන තෙක් ගොඩ නැගී නොමැත. මේ පිළිබඳ ව විවිධ මත ගණනාවක් ඉදිරිපත් වී ඇති අතර ඒවායේ සාධාරණීයත්වය පිළිබඳ ව අදහස් මතු කර ගැනීම වැදගත් වෙයි

  • පුරාණයේ සංබල්(Sambal) නාම දරන අවනද්ධ භාණ්ඩයක් විය. ඌර්ධවාකාරයෙන් වයන කොටස් දෙකකින් යුත් මෙහි එක් කොටසක් නර් නමින් ද, අනෙක් කොටස මාදා නමින් ද හඳුන්වයි. වර්තමාන තබ්ලාව මෙම සංබල්හි ප්‍රතිනිර්මාණයක් යැ යි මතයක් පවතින බව භගවත් ශරන් ශර්මා (1973, p.17) පවසයි. සංබල් මැටියෙන් හෝ ලීයෙන් කඳ නිර්මාණය වුණු අවනද්ධ භාණ්ඩයකි. අර්ධ ගෝලාකාර හැඩයක් සහිත කඳකින් යුත් මෙහි විවෘත මුහුණු දෙක ලෝහ වළලු දෙකක් මත සවි කරන ලද සම්වලින් ආවරණය වී ඇත. පහළින් යෙදූ ලෝහ හෝ සම් වළලු දෙකක් හා වළලු දෙක අතරින් යවන ලද හම් පටි ආධාරයෙන් සම් බැඳි වළලු දෙක කඳට සවි කර-ගැනෙයි. පහළ ලෝහ වළල්ල හා කඳ අතරට ලී කැබලි තුනක් තබා ඇත. මෙය වර්තමානයේ දී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජන වාද්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රචලිත ව පවතින අතර, රෙදි පටකින් ඉනේ බැඳ-ගෙන කෙලවර රවුම් වුණු කෝටු දෙකක් ආධාරයෙන් මෙය වාදනය කෙරෙයි.

රූපය 1 - සංබල්

 සුලු සුලු වෙනස්කම් හැරුණු කොට වර්තමාන තබ්ලාවේ බායාං හෙවත් ඩග්ගාහි හැඩරුව සංබල්හි හැඩරුවට සමාන සේ පෙනෙයි. ආකෘතිමය වශයෙන් මේ දෙක අතර දක්නට ලැබෙන ප්‍රධාන වෙනසක් නම්, සංබල්හි යට වළල්ල හා කඳ අතර ලී කැබලි තුනක් තබා-තිබීම යි. 

  • ඇතැම් විද්වත්හු තබ්ලාවේ උත්පත්තිය භරත කාලීන දර්දුර  නම් භාණ්ඩයක ආධාරයෙන් සිදු වී යැ යි විශ්වාස කරන බව ලාල් මණි මිශ්‍රා(1973, p.72) පවසයි. දර්දුර මුහුණ සමකින් ආවරණය කරන ලද මැටි කළයක හැඩයට සමාන ය. මේ සම කඳට සවි කර-ගැනීමට හම් පටි හෝ එවැනි වෙනත් දෙයක් යොදා-ගනු දක්නට නො ලැබෙයි. මේ භාණ්ඩය වාදනය කිරීමේ දී එහි මුහුණත ඉහළට සිටින සේ තබා-ගැනෙයි. දර්දුර යනු තබ්ලාව මෙන් කොටස් දෙකකින් යුක්ත වූවක් නො ව එක් කොටසකින් පමණක් සමන්විත වූවකි. මෙය ශ්‍රී ලාංකේය බුම්මැණ්ඩියට සමාන භාණ්ඩයකි.

රූපය 2 - දර්දුර

දර්දුර ආධාරයෙන් තබ්ලාව උත්පත්තිය ලැබී යැ යි පවතින මතයට බෝහෝ දුරට හේතු වී ඇත්තේ දර්දුර ද තබ්ලාව මෙන් ඌර්ධ්වාකාරයෙන් වයන kettle drum වර්ගයට අයත් භාණ්ඩයක් නිසා යැ යි සිතිය හැකි ය
.

  • පුරාණ කාලයේ පනව නමින් හැඳින්වුණු භාණ්ඩය මධ්‍යකාලීන ග්‍රන්ථවල හුඩුක් හෝ ආවාජ් නාමයෙන් හඳුන්වා ඇත. මෙය මැදින් වෙන් කර තබ්ලාව නිපදවාඇතැයි යන මතයක් පවතියි(මිශ්‍රා 1973, p.72).

රූපය 3 - හුඩුක්

දෙපසට වඩා මැද කොටස සිහින් වූණු, අභ්‍යන්තරය කුහර සහිත කඳකින් සමන්විත භාණ්ඩයකි හුඩුක්. දෙපස විවෘත මුහුණු දෙක වේවැල් වලින් සාදා-ගත් රවුම් වළලු දෙකක් මත සවි කළ හම් ස්තරවලින් ආවරණය වූවකි. නූල් ආධාරයෙන් මේ හම් බැඳි වළලු දෙක කඳට සවි කර-ගැනෙයි. හුඩුක් දෙකට මැදින් වෙන් කිරීමෙන් ලැබෙන කොටස සංබල්හි මෙන් තබ්ලාවේ ඩග්ගාවට ආකෘතිමය වශයෙන් යම් සමාන කමක් පෙන්වයි.

පුරාණයේ දී මෘදංගය කොටස් තුනකින් සමන්විත ව තිබී ඇත. මෙහි එක් කෙටසක් උකුල මත තබා-ගෙන ද, අනෙක් කොටස් දෙක ම සිරස් ව තබා-ගෙන ද වාදනය කර ඇත. පුරාණ කාල මෘදංගයේ ඌර්ධ්වක ස්වරූපයෙන් තබ්ලාව උත්පත්තිය ලද බවට ඇතැම් අය තර්ක කරති(මිශ්‍රා 1973, p.72). ඉන්දියාවේ භාරූත් හා බදාමී මුර්තීන් අතර ඉහත ආකාරයේ භාණ්ඩයක් වයන රූපයක් දක්නට ඇත.


රූපය 4 - බදාමී ලෙන් කැටයම්- ක්‍රි.ව.6 හෝ 7 සියවස

  • සුමේරියන් සංස්කෘතියෙන් භාරතයට පැමිණි චර්ම වාද්‍ය භාණ්ඩ අතුරෙන් තබ්ල නාමය දරන භාණ්ඩයක් තිබුණු බව ඉතිහාසඥයින් ගේ මතය වෙයි. මෙය වෘත්තාකාර ලී රාමුවක විවෘත මුහුණත හමකින් ආවරණය කර සාදා-ගත් භාණ්ඩයක් ලෙස ද, ඇතැම් අවස්ථාවක කේත්වාකාර භාණ්ඩයක් ලෙස ද සඳහන් වෙයි. තබ්ල ඇතැම් විට තබ්ල් යනුවෙන් ද හඳුන්වා ඇත. එහි උත්පත්තිය පිළිබඳ විස්තර කරමින් අරාබියේ ජුබල් නම් ප්‍රසිද්ධ සංගීතඥයාගේ පුත් ටුබල් විසින් තබ්ල නිර්මාණය කළ බව සඳහන් වෙයි(goswami 1957, p.310). ටුබල් නාමය ඇතැම් ග්‍රන්ථවල තබ්ල් යනුවෙන් ද දැක්වෙයි. පැරණි අරාබියේ ජනප්‍රිය අවනද්ධ භාණ්ඩයන් වූ තබ්ල මෙන් ම ඩෆ් නැමති භාණ්ඩයේ ද නිර්මාතෘ ඉහත සඳහන් කළ ටුබල් හෙවත් තබ්ල් යැ යි සඳහන් වෙයි. මුස්ලිම්වරුන් භාරතය ආක්‍රමණය කිරීමෙන් පසු ඔවුන් ගේ සංස්කෘතිය හා කලා ශිල්ප භාරතයට සංක්‍රමණය වීීමේ දී කේත්වාකාර හැඩයක් ඇති තබ්ල් නැමැති භාණ්ඩය ද පැමිණ ඉන්දීය බෙර විශේෂයන් අතරට එක් වී පසු ව එහි නීති රීති අනුව අනුවර්තනය වෙමින් තබ්ලාව බිහි වූ බව ඩී.ආර්. පීරිස් (2012, p.10) ගේ අදහස යි.
  • අල්ලා-උද්-දීන් ඛල්ජි රජු ගේ රාජකීය කලාකරු වන හසරත් අමීර් කුස්රෝ තබ්ලාවේ නිර්මාතෘ බව එක් ප්‍රකට මතයක් පවතියි. එවකට භාරතයේ ජනප්‍රිය ව පැවති මෘදංගය කොටස් දෙකකට වෙන් කර කුස්රෝ විසින් තබ්ලාව නිර්මාණය කළ බව පැවසේ. තබ්ලාවේ වම් හා දකුණු කොටස පතුලෙන් එකිනෙකට සම්බන්ධ කිරීමෙන් ලැබෙන ස්වරූපය හා සැසඳීම මෙන් ම, තබ්ලාවේ කොටස් දෙකෙන් ලැබෙන නාද මෘදංගයේ මුහුණු දෙකෙන් ධ්වනිත වන නාද මෙන් ස්වර දෙකක පිහිටීම මෘදංගයෙන් තබ්ලාව නිර්මාණය කළේ යැ යි යන මතය සාධාරණීකරණය වීමට බලපා ඇතැයි සිතිය හැක. කෙසේ වුවත්, අමීර් කුස්රෝ නාමය සඳහන් වන්නේ තබ්ලාවේ නිර්මාතෘ ලෙස පමණකි. ඔහු තබ්ලාව වාදනය කළ බවක් ලිඛිත ඉතිහාසයෙහි සඳහන් නො වේ.

_____________________________________________

ආශ්‍රිත ග්‍රන්ථ

පීරිස්, ඩී. ආර්.(2012). සම්භාව්‍ය තාල දීපනී, 3 වන මුද්‍රණය, කොළඔ: සූර්ය ප්‍රකාශන

පෙන්ඩාරකර්, විනයක්රාව්. (1947). තබ්ලා ශාස්ත්‍ර

මිශ්‍රා, ලාල් මණි.(1973). භාරතීය සංගීත වාද්‍යා, දිල්ලි: භාරතීය ඥාන්පීඨ්

ශර්මා, භගවත් ශරන්.( 1973). තාල් ප්‍රකාශ් 5වන සංස්කරණය. හාථ්රස්: සංගීත් කාර්යාලය

O. Goswami, O.(1957). The Story of Indian Music. Asia Publishing House

Sen, A.K. (1994). Indian Concept of Rhythm. Delhi: Kanishka Publishers Distribute 

Post a Comment

Previous Post Next Post