තබ්ලාව භාරතීය නිර්මාණයක් ද?
18 වන සියවස දී තබ්ලා නාමයෙන් අභිෂේක ලබමින් ලෝකයා අභිමුඛයට පැමිණි මේ භාණ්ඩය අභිනව භාණ්ඩයක් ද, එසේත් නැතහොත් පුරාණයේ සිට පැවැති භාණ්ඩයක ප්‍රතිනිර්මාණයක් ද යන්න විමසීමට බඳුන් කළ යුතු කාරණාවකි.
තබ්ලාවේ උත්පත්තිය සම්බන්ධ ඉදිරිපත් වී ඇති මත වාදයන් ප්‍රධාන වශයෙන් අදහස් තුනක් පදනම් කර-ගෙන ගෙනු වී ඇති බව පෙනෙයි. එනම්,
1. අතීතයේ දී භාවිත වුණු ඌර්ධවකාර භාණ්ඩයක පරිණාමී අවස්ථාවකි.2. වෙනත් දේශයක දී ප්‍රභවය වී භාරතයට සංක්‍රමණය වීමෙන් අනතුරු ව භාරතය තුළ දී ව්‍යාප්ත වූ භාණ්ඩයකි.
තබ්ලාව භාරතය තුළ ම ප්‍රභවය වී ව්‍යාප්ත වූ භාණ්ඩයක් ය යන මතය ඉදිරි පත් කරන්නෝ ඒ සඳහා ඓතිහාසික සාධක ද ගෙන හැර දක්වති. තබ්ලාව ම නො වූවත් බදාමී ලෙන් හා භාරූත් කැටයම්වල ඇති ගල් කැටයම් හා මූර්ති අතර ඇති භාණ්ඩවල ස්වරූපය හා වාදන ඉරියව්ව ආදිය විශ්ලේෂණය කිරීමෙන් තබ්ලාව භාරතය තුළ ම ප්‍රභවය වී පරිණාමය වුණු භාණ්ඩයක් ලෙස ඔවුහු විශ්වාස කරති.
මීට සමාණ අදහසක් ඉදිරිපත් කරන බී. සී. දේවා (1987, p.69) ද තබ්ලාව ඉස්ලාම් යුගයට පෙර භාරතය තුළ දී ම බිහි වුණු භාණ්ඩයක් බවට සිතීමට තරම් සාධාරණ හේතු සාධක ඇති බව පවසයි. ක්‍රි. ව. 6 වන හා 7 වන සියවස්වලට අයත් ඇතැම් මූර්තීන් අතර දක්නට ඇති ඌර්ධ්වාකාර යුගල බෙර මෙන් ම, භාරතයේ ඉතා පූරාණයේ සිට ම භාවිතයේ පවතින අවනද්ධ භාණ්ඩයන් හි මුහුණු මත බදාමයක් (ස්‍යාහි) යෙදීමේ ක්‍රියාව ද තබ්ලාව භාරතීය නිර්මාණයක් බව හැඳින්වීම සඳහා පාදක කර-ගත හැකි කරුණු ලෙස ඔහු සඳහන් කරයි.
මේ අතර තවත් සමහරෙක් තබ්ලාව මැද පෙරදිගින් භාරතයට සංක්‍රමණය වී පසු ව එහි දී වර්ධනයට බඳුන් වුණු භාණ්ඩයක් බව විශ්වාස කරති. තබ්ලා යන නාමය හා මුස්ලිම් රජවරුන් ගේ පාලන කාලය තුළ වර්ධනයට හා ජනප්‍රියත්වයට පත් වීම හේතුවෙන් ඔවුන් මේ මතයට පැමිණියා යැ යි සිතිය හැක. මෝගල් ආක්‍රමණයෙන් පසු ඔවුන් ගේ සංස්කෘතිය ද භාරතය ආක්‍රමණය කිරීම හරහා පැමිණි බෙහෝ කලා ශිල්ප හා භාණ්ඩ මෙන් තබ්ලාව ද මැද පෙරදිගින් භාරතයට පැමිණ භාරතීය සංස්කෘතික හා සාමාජයීය තතත්වයන් තුළින් පෝෂණය ලැබ ජනප්‍රිය වුයේ යැ යි ඔවුහු කල්පනා කරති.
සුමේරියන් සංස්කෘතියෙන් භාරතයට පැමිණි චර්ම වාද්‍ය භාණ්ඩ අතුරෙන් තබ්ල නාමය දරන භාණ්ඩයක් තිබුණු බව ඉතිහාසඥයින් ගේ මතය වෙයි. මෙය වෘත්තාකාර ලී රාමුවක විවෘත මුහුණත හමකින් ආවරණය කර සාදා-ගත් භාණ්ඩයක් ලෙස ද, ඇතැම් අවස්ථාවක කේතුකාකාර භාණ්ඩයක් ලෙස ද සඳහන් වෙයි. තබ්ල ඇතැම් විට තබ්ල් යනුවෙන් ද හඳුන්වා ඇත. මුස්ලිම්වරුන් භාරතය ආක්‍රමණය කිරීමෙන් පසු ඔවුන් ගේ සංස්කෘතිය හා කලා ශිල්ප භාරතයට සංක්‍රමණය වීීමේ දී කේතුකාකාර හැඩයක් ඇති තබ්ල් නැමැති භාණ්ඩය ද පැමිණ ඉන්දීය බෙර විශේෂයන් අතරට එක් වී පසු ව එහි නීති රීති අනුව අනුවර්තනය වෙමින් තබ්ලාව බිහි වූ බව ඩී.ආර්. පීරිස් ගේ අදහස යි(පීරිස් 2002, පි. 10).
දුන්දුභී, නගාරා වැනි කෝණාකාර හැඩයකින් යුත් අවනද්ධ භාණ්ඩ පුරාණ භාරතීය සමාජය තුළ භාවිත වූ භාණ්ඩයන් ය. කුඩා කෝණාකාර භාණ්ඩයන් සියවස් ගනනාවක් පරිණාමය වී වත්මන් තබ්ලාව නමින් හඳුන්වන ආකාරයේ භාණ්ඩයක් නිර්මාණය වී පසු ව මධ්‍ය හා බටහිර ආසියානු ජනයා භාරතයට සංක්‍රමණය වීමෙන් අනතුරු ව, ඔවුන් ගේ නාමයක් වූ තබ්ල් යන්න ඉහත භාණ්ඩයට යෙදීමෙන් තබ්ලා නැමැති අවනද්ධ භාණ්ඩය ලෝකයට පැමිණියේ යැ යි ඇතැමෙක් කල්පනා කරති (Deva 1987).
තබ්ලා ශබ්දයේ උත්පත්තිය ෆාර්සි තබ්ල යන්නෙන් සිදු වී යැ යි සිතිය හැකි බව ලාල් මණි මිශ්‍රා (1973, පි. 72) පවසයි. මෙහි සාමාන්‍ය අර්ථය නම්, ‘මුහුණ උඩු අතට හැරුණු හා ඉහළ කොටස පැතලි ව පවතින භාණ්ඩය’ යන්න ය. දුන්දුභියට සමාණ ආකෘතියක් ඇති අවනද්ධ භාණ්ඩවලට තබ්ල යන නාමය අරාබි දේශයේ දී යොදා ඇත. ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව තබ්ල යන වචනය අනෙකුත් අවනද්ධ භාණ්ඩයන් ගේ නාමයන්ට පෙර යෙදීම එකල මුස්ලිම් රාජ සභාවල සිරිතක් ව පැවත ඇත. තබ්ල-නගාර, තබ්ල-මර්කම, තබ්ල-තරක්සල්, තබ්ල-අල්ප්‍රසන්ට් අදීය මේ සඳහා උදාහරණයන් ය. බටහිර රටවල සියලු ම අවනද්ධ භාණ්ඩ හැඳින්වීමට පොදු වශයෙන් Drum යන වචනය යොදා-ගත් ආකාරයට ම මෝගල් යුගයේ දී තබ්ල යන වචනය යොදා ඇත (Sen 1994, p. 44).
‘තබ්ලාව’ එහි නමින් ම හැඟවෙන පරිදී විදේශීය භාණ්ඩයකි. එය පඛාවාජය දෙකට කපා හසරත් අමීර් ඛුෂ්රු විසින් සකස් කර ගන්නා ලද භාණ්ඩයකැ යි යන මතය මිත්‍යා ප්‍රබන්ධයක් සේ බැහැර කළ යුතු ව ඇත. එහි නිර්මාණයේ කර්තෘත්වය එක් අයකු හට හෝ එක් දේශයකට හෝ පැවරීම යුක්ති සහගත නොවේ. වර්තමාන තබ්ලාව භාරතීය අවනද්ධ භාණ්ඩවල ආකෘතීන් මෙන් ම මැද පෙරදිග රටවල අවනද්ධ භාණ්ඩවල ආකෘතීන් සංකලනයෙන් හා එම රටවල සංස්කෘතීන් මිශ්‍ර වීමෙන් කාලයා විසින් නිර්මාණය කළ භාණ්ඩයක් යැ යි සිතීම වඩාත් යෝග්‍ය ය. මේ ආකාරයට පරිණමය වුණු අවනද්ධ භාණ්ඩය 18 වන සියවස මුහම්මද් ෂාහ රංගීලේ රාජ්‍ය සමයේ අමීර් කුස්රෝ ගේ හඳුන්වා දීමෙන් හා සිධාර් ඛාං හඳුන්වා දුන් වාදන ශෛලියෙන් පරිපෝෂිත ව භාරතීය සංස්කෘතිය හා ගැටෙමින් ‘තබ්ලා’ නමින් අභිෂේකය ලැබ සංගීත ලෝකයට අවතීර්න වූයේ යැ යි යන මතය වඩාත් ප්‍රශස්ත ය. තබ්ලාවේ මුල් බිම කවර දේශයක් වුවත් වර්තමානයේ තබ්ලා නමින් හැඳින්වෙන අවනද්ධ භාණ්ඩය මුල් වරට වාදන ශෛලියක් ද සමගින් ලෝකයා හමුවට පැමිණ ඇත්තේ භාරතයේ දී ය.
ඛ්‍යාල් ගායනා ශෛලිය ව්‍යාප්ත වීමෙන් පසු ව ව්‍යාප්ත වුණු තබ්ලාව හා එහි ශෛලිය භාරතීය සංගීතයෙහි, විශේෂයෙන් ම උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරයි. භාරතීය සංගීත ලොවෙහි ප්‍රමුඛතම අවනද්ධ භාණ්ඩයක් බවට පත් වී ඇති තබ්ලාව සැබැවින් ම මිනිසා ගේ නිර්මාණාත්මක භාවයේ සියුම් නිමැයුමකි. උසස් ශාස්ත්‍රයකින් හා සියුම් ශිල්පීයත්වයකින් හෙබි තබ්ලාව හුදෙක් සම්මත ධ්වනියක් ම පමණක් නිපදවන්නා වූ භාණ්ඩයක් නො වේ. තබ්ලාවෙන් ධ්වනිත කෙරෙන අක්ෂර වල සම්මතාර්ථයෙන් ඔබ්බට ගිය කළ ලැබෙන ධ්වනිතාර්ථය ආධ්‍යාත්මය හා මනාව සුසංයෝජනය වීම එයින් උද්දීපනය වන සියුම් වින්දනය තබ්ලාව මිනිස් සන්තානයන් හි ගැඹුරින් ම තැන්පත් වීමට හේතු වෙයි. ගැඹුරු ශාස්ත්‍රයත් සියුම් මධුර නාදයත් එක් ව තනනු ලැබූ තබ්ලා වාදන ශෛලිය තවත් එවැනි ම සියුම් සංගීතයක් හා බද්ධ වී තිබීම තබ්ලාවේ වර්තමාන ප්‍රවර්ධනයට බොහෝ දුරට හේතු වී ඇත.
________________________________________________
ආශ්‍රිත ග්‍රන්ථ
Deva, B.C.(1987). Musical Instruments of India: Their History and Development. Second revised edition. Munshiram Manoharlal Publishers.
Prajnanananda, S. (1965). A Historical Study of Indian Music. Calcutta: Anandadhara Prakashan
Sen, A.K. (1994). Indian Concept of Rhythm. Delhi: Kanishka Publishers Distribute
පීරිස්, ඩී. ආර්.(2012). සම්භාව්‍ය තාල දීපනී, 3 වන මුද්‍රණය. කොළඔ: සූර්ය ප්‍රකාශන.
මිශ්‍රා, ලාල් මණි .(1973). භාරතීය සංගීත වාද්‍යා. දිල්ලිය: භාරතීය ඥාන් පීඨ්.