තබ්ලා සම්භවය 02- තබ්ලා නිර්මාණයේ කර්තෘත්වය හසරත් අමීර් කුස්රෝ හට දිය හැකි ද?

 තබ්ලා නිර්මාණයේ කර්තෘත්වය හසරත් අමීර් කුස්රෝ හට දිය හැකි ද?

තබ්ලාව නිර්මාණයේ කර්තෘත්වය අල්ලා-උද්-දීන් ඛල්ජි රාජ සභාවේ හස්රත් අමීර් කුස්රෝ හට පිරිනමමින් ප්‍රබල මත වාදයක් ගොඩ නැගී තිබුණ ද, එහි සාධාරණත්වය පිළිබඳ ව විමසීම කාලෝචිත වන්නේ තබ්ලාවේ ප්‍රභවය සම්බන්ධ ව කාල නිර්ණයේ දී එය වැදගත් සාධකයක් වන හෙයිනි. අමීර් කුස්රෝ (1253- 1325) මෘදංගය මැදින් වෙන් කිරීමෙන් ලැබෙන ස්වරූපය අනුකරණය කරමින් තබ්ලාව නිර්මාණය කළ බව පවතින මතය යි. වර්තමානයේ තබ්ලා නමින් හඳුන්වනු ලබන අවනද්ධ භාණ්ඩය ඛ්‍යාල් ගායනා සඳහා සහාය වාදනය කිරීම පිණිස නව වාදන ශෛලියක් ද සමඟින් බිහි වූයේ යැ යි ඉතිහාසය කරුණු දක්වයි. කෙසේ වුවත් අමීර් කුස්රෝ තබ්ලාව වාදනය කළ බවක් ඉතිහාසයේ සඳහන් නො වේ. ඉතිහාසයට අනුව මුල් ම තබ්ලා වාදන ශිල්පියා උස්තාද් සිධාර් ඛාං ය. ඔහු මෝගල් රජ පරම්පරාවේ අවසාන භාගයේ රාජ්‍යත්වයට පැමිණි මුහම්මද් ශාහ රංගීලේ (1719-1848) රාජ්‍ය සමයේ විසුවෙකි. සිධාර් ඛාං ට ප්‍රථම වර්තමාන තබ්ලා නමින් හඳුන්වනු ලබන භාණ්ඩය වාදනය කළ බවක් හෝ එවැනි වාදකයකු ගැන හෝ ඉතිහාසයේ සඳහන් නො වේ. මේ අනුව අමීර් කුස්රෝ 13 වන සියවසේ දී තබ්ලාව නිර්මාණය කළේ නම් 13 වන සියවස සිට 18 වන සියවස දක්වා වූ අවුරුදු 500 කට ආසන්න කාලයක් මුලුල්ලේ තබ්ලාවේ භාවිතාව පිළිබඳ ව සඳහන් නො වීම ගැටලු සහගත ය. 1526 දී බාබර්(1483-1530) විසින් ඉන්දියාව අක්‍රමණය කරනු ලැබීමෙන් ඇරඹුණු මෝගල් යුගයේ දී, විශේෂයෙන් ම උත්තර භාරතීය සංගීතයේ ස්වර්ණමය යුගයක් ලෙස බොහෝ දෙනා සලකන  අක්බර් සමය දී (1542-1605) පවා තබ්ලාව පිළිබඳ ව හෝ තබ්ලා වාදකයකු පිළිබඳ ව හෝ සඳහනක් පවා නො තිබීම 13 වන සියවසේ දී අමීර් කුස්රෝ තබ්ලාව නිපදවූයේ ය යන මතය බැහැර කිරීමට හේතු වෙයි. එසේ ම ඉතිහාසගත කරුණු අනුව තබ්ලා වාදන ශෛලියක් බිහි වූයේ 18 වන සියවසේ දී ඛ්‍යාල් ගායනා සඳහා සංගත කිරීමට නම් අමීර් කුස්රෝ ගේ යුගයේ සිට අවුරුදු 500 කට ආසන්න කාලයක් මේ සඳහා ගත වීම අභව්‍ය සිදුවීමක් ලෙස සැලකිය හැකි ය.   

 

රූපය 1- හස්රත් අමීර කුස්රෝ 


කෙසේ වුව ද තබ්ලාවේ උත්පත්තිය සම්බන්ධ ව ජනප්‍රවාදයේ එන අමීර් කුස්රෝ 13 වන සියවසේ ජීවත් වූ පුද්ගලයා නො ව ඊට පසු යුගයක සිටි වෙනත් අයකු බව සිතීමට කරුණු ඇත. බෙංගාලයේ තබ්ලර් කථා(Tablar Katha)  නම් වූ ග්‍රන්ථයේ කර්තෘ වූ ශ්‍රී සුබෝද් නන්දී විසින් සංගීතවේදී ශ්‍රී ගොපේශවර් බන්ද්‍යෝපාධ්‍යාය වෙත යවන ලද ලිපියකට පිළිතුරු වශයෙන් ඔහු කළ ප්‍රකාශය Indian Concept of Rhythm නැමැති ග්‍රන්ථයේ පහත ආකාරයට දක්වා ඇත.

“It would be unbecoming to call Amir Khusro of Allauddin’s courts as the originator of Tabala. During the reign of the Mughal Emperor Muhammed Shah (1738 A.D.) there was a famous Pakhavaj player called Rahman Khan, whose second son was called Amir Khusro. He learnt to sing  khayal from Sadarang and to accompany Khayalgayki, he invented Tabla..........The famous singer of Visnupur Shri Gadadhar Chakravarty, had a brother Murlidhar. He went to Delhi and  learnt Khayal Gayaki from Sadarang. When he returned to Vishnupur, he stated that Pakhavaj, he felt, was not a suitable instrument for Khayal Gayaki . So his favourite disciple Amir Khusro was determined to make an instrument suitable for accompanying the singing of Khayal"(Sen,1994, p.45).   

ඉහත විස්තරයට අනුව අමීර් ඛුස්රෝ යන නාමයෙන් සංගීතඥයකු 18 වන සියවසේ දී ජීවත් ව සිටි බව පැහැදිලි වෙයි. තබ්ලා වාදන ශෛලියක් බිහි වූයේ ඛ්‍යාල් ගායනා සඳහා වාදනය කිරීමට ය. එසේ ම අභිනව වාදන ශෛලියක් ද සමගින් තබ්ලා වාදන ක්‍රමයක් ලොවට මුලින් ම හඳුන්වා-දුන් පුද්ගලයා හැටියට ඉතිහාසය සඳහන් කරන්නේ උස්තාද් සිධාර් ඛාං නාමය යි.  සිධාර් ඛාං ද 18 වන සියවසේ ජීවත් වූවෙකි. මේ අනුව ඛ්‍යාල් ගායනා ශෛලිය සඳහා තබ්ලාව යොදා-ගැනීම, මුල් ම තබ්ලා වාදක සුධාර් ඛාං හා ඛ්‍යාල් සඳහා තබ්ලාව හඳුන්වා දුන් අමීර් ඛුස්රෝ යන ත්‍රිත්වය ම මනා ව ගැළපීම තබ්ලාව නිපදවූයේ යැ යි ඉතිහාසයේ  සඳහන් වන අමීර් ඛුස්රෝ 13 වන සියවසේ සිටි හස්රත් අමීර් කුස්රෝ නො ව 18 වන සියවසේ මුහම්මද් ශාහ ගේ රාජ්‍ය කාලයේ සිටි රහමන් ඛාං ගේ පුත්‍රයා වූ අමීර් කුස්රෝ ලෙස හැඳින්වීමේ යම් සාධාරණත්වයක් ඇත. හස්රත් අමීර් කුස්රෝ භාරතීය සංගීත ක්ෂේත්‍රසේ කැපී පෙනෙන චරිතයක් වූ නිසා ම මෙන් ම භාරතීය සංගීතයට නව නිර්මාණ රැසක් හඳුන්වා දුන් පුද්ගලයකු වූ නිසා ම ඉතිහාස කථා කරුවන් තබ්ලාව නිර්මාණයේ කර්තෘත්වයත් හස්රත් අමීර් කුස්රෝ හට පවරා ඇති සේයක් ඉහත විස්තරවලට අනුව පැහැදිලි වෙයි

_________________________________________________

ආශ්‍රිත ග්‍රන්ථ

Sen, A.K.(1994).Indian Concept of  Rhythm. Delhi: Kanishka Publishers Distribute 

 

Post a Comment

Previous Post Next Post