තබ්ලා සම්භවය 01- ඛ්‍යාල් බිහිවෙයි

ඛ්‍යාල් බිහිවෙයි

භරතමුනි ගේ කාලයේ සිට (ක්‍රි. ව. 2 වන සියවස) සියවස් ගණනාවක් පුරා පැවති ගායන ක්‍රමවලට සහාය වූ අවනද්ධ භාණ්ඩ අතුරෙන් ප්‍රධානත්වයක් ගනු ලැබුවේ මෘදංගය නොහොත් පඛාවජය යි. ගැඔුරු ධ්වනියක් උත්පාදනය වන ධ්‍රැපද්, ධමාර් ගායනා හා මනා ව සුසංයෝජනය වුණු පඛාවජය ම වඩාත් ශෘංගාරාත්මක භාවයකින් යුත් ඛ්‍යාල් ගායන ශෛලිය බිහි වීමෙන් අනතුරු ව එම ගායනා සඳහා ද සහාය වාදනය පිණිස  යොදාගත්තේ ය. එහෙත් පඛාවජ්හි ප්‍රබල ගාම්භීර නාදය ඛ්‍යාල් ගායනා හා සුසංයෝජනය නො වීමෙන් නව වාදන ශෛලියක හා මෘදු නාදයකින් යුත් භාණ්ඩයක අවශ්‍යතාව පැන නැගිණ. මෙහි ප්‍රතිඵලය ලෙස තබ්ලා නම් වූ අවනද්ධ භාණ්ඩය නව වාදන ශෛලියක් ද සමගින් සංගීත ලෝකයෙහි ජනිත විය. 


ඛ්‍යාල්- තබ්ලා සුසංයෝජනය ප්‍රේමාවනද්ධ අඹුසැමි යුවලක් සේ ය. ඛ්‍යාල් ස්ත්‍රිය නම් තබ්ලා පුරුෂයා ය. ස්ත්‍රී පුරුෂ යුවලක් උනු’නුන් කෙරේ බැඳුණු අනුරාගයෙන් ළබැඳියාව නම් වූ තථ්‍ය ප්‍රේමයෙන් රන්රස සේ එක් වන කල්හි දැනෙන සුන්දර ලෝකයට පිවිසීමට ඛ්‍යාල් නම් වූ ස්ත්‍රියටත් තබ්ලා නම් වූ පුරුෂයාටත් වරම් ලැබේ.

ඇතැම් පුද්ගලයන් තබ්ලාවේ ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට ගෙන-යාමට උත්සාහ කර ඇති මුත් පුරාණ ග්‍රන්ථයන්හි කිසි ම තැනෙක තබ්ලා නැමැති අවනද්ධ භාණ්ඩයක් ගැන සඳහන් නො වීමත්, අවම වශයෙන් 13 වන සියවසේ දී ලියැවුණු සංගීතරතනාකර හා ඉන් පසු  සංගීත-පාරිජාත, වාද්‍යප්‍රකාශ් වැනි මධ්‍යකාලීන ග්‍රන්ථවල පවා ‘තබ්ලා’ නැමැති භාණ්ඩයක් හෝ තබ්ලා වාදකයකු ගැන හෝ සඳහනක් නො වීමත් තබ්ලාව සම්බන්ධ ව එතරම් දීර්ඝ ඉතිහාසයක් ආරූඪ කිරීමේ යුක්ති සහගත භාවය පිළිබඳ ව නැවත වරක් සිතිය යුතු ව ඇත. තබ්ලාවට යම් සමාන කමක් දක්වන භාණ්ඩ පුරාණ භාරතයේ තිබූ නමුත් ඒවා තබ්ලා යන නාමයෙන් හඳුන්වා නැත. ඉදිරිපත් වී ඇති සාධක අනුව තබ්ලා ඉතිහාසය 18 වන සියවසෙන් ඔබ්බට නො යන බව පැහැදිලි ය.

13 වන සියවස සිට විවිධ සංස්කෘතීන් හරහා ඉන්දීය සංගීතය කෙරෙහි විවිධ බලපෑම් එල්ල විය. විශේෂයෙන් ම ඛල්ජි රජ පරම්පරාවේ ප්‍රබල සුල්තාන්වරු දෙදෙනකු වන තුර්කි ජාතික ජලාල්-උද්-දීන් ෆිරුෂ් (1290-1296) හා ඔහු ගේ බෑණනුවන් වූ  අල්ලා-උද්-දීන් ඛල්ජි (1296-1316) යුගය ඉන්දීය සංගීතයේ පැහැදිලි පරිවර්තනයක් සිදු වූ වකවානුවක් ලෙස සැලකිය හැකි ය. ඛල්ජි රාජ සභාවේ සේවය කළ කවියකු, සංගීතඥයකු, ප්‍රබන්ධකයකු මෙන් ම විද්වතකු ද වන හස්රත් අමීර් කුස්රෝ (1253-1325) භාරතීය සංගීතයෙහි නව මාවත් හෙළි කළ පුද්ගලයකු ලෙස සැලකෙයි. විවිධ සංස්කෘතික ලක්ෂණ හා ජන කොටස් ඉන්දීය සමාජය හා මිශ්‍ර වීම නිසා භාරතය තුළ එතෙක් ජනප්‍රිය ව පැවති ගැඔුරු ශාස්ත්‍රීය ලක්ෂණයන් ගෙන් අනූන වූ ධ්‍රැපද්-ධමාර් ගායන ශෛලිහි ගැඹුරු අර්ථය හා රිද්මය නියමාකාරයෙන් උකහාගැනීම සංක්‍රමණික ජනයාට අපහසු විය. මේ නිසා වඩාත් සරල හා ශෘංගාර රසයක් දනවන කව්වාලි, ඛ්‍යාල්, තරාණා, ත්‍රිවට් ආදී ගායන ශෛලි භාරතීය සංගීතයට හඳුන්වාදෙමින් නව සංගීත ශෛලියක් කුස්රෝ විසින් බිහි කරනු ලැබී ය(Veer,1987). කෙසේ වුව ද දීර්ඝ කාලයක් භාරතීය ජන හදවත් තුළ ලැගුම් ගත් ගායන ශෛලියක් අබිබවා ඉදිරියට පැමිණීමට අභිනව ගායන ශෛලිවලට තරමක් අපහසු වූවා සේ ම ඒ සඳහා සියවස් කීපයක් වැය කිරීමට ද සිදු විය. 

1712 දී බහදූර් ශාහ ගේ මරණයත් සමග ම මෝගල් අධිරජ්‍යයේ බිඳ වැටීම ද ආරම්භ විය. 1719 දී රාජ්‍යත්වයට පත් මෝගල් රාජ වංශයේ අවසාන පුරුක වූ මුහම්මද් ශාහ රංගීලේ (1719-1748) පාලකයෙක් වශයෙන් දුර්වල වුව ද කලාකාමියෙක් විය. මොහු ගේ රජ්‍ය කාලයේ සිටි නියාමත් ඛාං (සදාරංග) හා ඔහු ගේ බෑණනුවන් වූ ෆිරෝ‘ස් ඛාං (අදාරංග) සංගීතඥයින් දෙදෙනා ඒ වන විටත් ඉදිරියට පැමිණෙමින් තිබූ ඛ්‍යාල් නම් වූ නව ගායනා ශෛලිය ධ්‍රැපද් ගායනා ශෛලියේ ආභාසය ද සමගින්  නවීකරණය කර භාරතය තුළ වඩාත් ප්‍රචලිත කළෝ ය (Sharma,1996,p.xii).

_________________________________________________________________________________

ආශ්‍රිත ග්‍රන්ථ

 Ram Avtar ‘Veer’(1987). History of Indian Music and Musicians. New Delhi: Pankaj Publications

 Sharma, Swatantra. (1996). Fundamentals of Indian Music. Delhi: Prathibha Prakashan.


Post a Comment

Previous Post Next Post