14 වන සියවසෙන් පසු ව අමීර් කුස්රෝ ගේ පුරෝගාමීත්වයෙන් භාරතීය සංගීතයට හඳුන්වා දෙනු ලැබූ ඛ්‍යාල් ගායනා ක්‍රමය 18 වන සියවසේ දී නියාමත් ඛාං (සදාරංග) හා ඔහු ගේ බෑණනුවන් වූ ෆිරෝස් ඛාං (අදාරංග) යන සංගීතඥයින් ගේ නවීකරණය කිරීමෙන් පසු භාරතය තුළ වඩාත් පුළුල් ව ස්ථාපිත වෙමින් පැවතියේ ය. මේ වකවානුව තුළ දී භාරතීය ශාස්ත්‍රීය සංගීතයෙහි ප්‍රමුඛ ස්ථානයක් හිමි කර-ගෙන තිබුණු පඛාවජ් නැමැති අවනද්ධ භාණ්ඩයේ ගැඹුරු වූත් ප්‍රබල වූත් නාදය, මෘදු නාදයක් හා ශෘංගාර රසයක් දනවන ගායනා ක්‍රමයක් වූ ඛ්‍යාල් ගායනා හා එතරම් සුසංයෝජනය නො වන බව එවකට සිටි සංගීතඥයින්ට ක්‍රමයෙන් අවබෝධ විය. ක්‍රි.ව. 1719 සිට 1748 තෙක් දිල්ලියේ රාජත්වයට පත් ව සිටි මොහම්මද් ෂාහ රංගීලේ ගේ රාජ සභාවේ සිටි ප්‍රතිභා සම්පන්න කලාකරුවකු වූ උස්තාද් සිධාර් ඛාං (සුද්ධාර් ඛාං) එවකට දිල්ලි නගරයේ සිටි දක්ෂ පඛාවජ වාදකයකු ද විය. විදේශීය ආක්‍රමණවලින් පසු භාරතීය-මුස්ලිම් ප්‍රකාර දෙකේ සංකලනයෙන් භාරතය තුළ බිහි ව තිබූ නව සංගීත ශෛලිවල අවශ්‍යතාව මනා ව වටහා-ගැනීමට සිධාර් ඛාංට හැකි විය. මේ වන විටත් භාරතීය අවනද්ධ භාණ්ඩ අතරට එක් ව තුබූ භාණ්ඩයක අපූර්වත්වය දුටු සිධාර් ඛාං, එය නව සංගීත ශෛලිවල අවශ්‍යතාව මනා ව සපිරිය හැකි භාණ්ඩයක් බව පසක් කර-ගත්තේ, අභිනව සංගීත ශෛලිවලට උචිත වූ නාද සංකලනයන් ගෙන් යුත් නව වාදන ශෛලියක් මෙමගින් බිහි කළේ ය. ‘තබ්ලා’ නමින් වර්තමානයේ දී ප්‍රචලිත ව ඇති මේ භාණ්ඩයේ වාදන ක්‍රම පිළිබඳ ව ගැඹුරින් අවධානය යොමු කළ සිධාර් ඛාං, තත් කාලීන සංගීත කලාවට ගැළපෙන නාදයක් තබ්ලාව තුළින් මතු කර දෙමින් ක්‍රමවත් තබ්ලා වාදන ශෛලියක් ප්‍රථමයෙන් ම ලොවට හඳුන්වා-දුන්නේ ය. දිල්ලි නගරය පසුබිම් කර-ගෙන බිහි වූ හෙයින් දිල්ලි ශෛලිය නමින් ප්‍රචලිත වූ මෙම ශෛලිය මුල් ම තබ්ලා ශෛලිය වෙයි.
තබ්ලා වාදන ශෛලිය බිහි කිරීමේ දී පඛාවජ් හා නක්කරා යන භාණ්ඩවල නාදය හා වාදන ශෛලිය ද ඒවායේ පදාක්ෂර ද ආභාසයට ගෙන ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් ම පඛාවජයේ හඬ විහිදී-යන (කුලා) අක්ෂර නක්කරාවේ නාදය අනුකරණය කරමින් හා අතේ ඇඟිලි ආධාරයෙන් හඬ වැසුණු (බන්ද්) ආකාරයට වාදනය කිරීමෙන් සේ ම, නක්කරාවෙන් වැයෙන පද තබ්ලාව මතින් වාදනය කිරීමෙන් ඇරඹුණු දිල්ලි ශෛලිය තබ්ලාවෙන් ඉතා මෘදු නාදයක් නිකුත් වන ආකාරයට වාදනය කරන්නා වූ වාදන ශෛලියකි. ප්‍රධාන වශයෙන් මැදැඟිල්ල හා දබරැඟිල්ල අධාර කර-ගෙන චාන්ටිය හා ස්‍යාහි ආශ්‍රිත වූ වාදන ශෛලියක් මෙහි දක්නට ඇත. මෙම ශෛලියෙන් වාදනයේ දී ඩග්ගාවෙන් ධ්වනිත වන නාදයේ දෝලනය වන ස්වභාවය අඩු අතර තබ්ලාවෙන් නික්මෙන නාදයෙහි අනුනාදී නො වන ස්වභාවයක් පවතියි. විශේෂයෙන් ම චාන්ටිය මත වාදනය කරන ‘ධා’ අක්ෂරය අනුනාදී නො වන ආකාරයට වාදනය කිරීම මෙම ශෛලියේ ස්වභාවය යි. මේ හේතුව නිසා දිල්ලි ශෛලිය ‘හඬ වැසුණු ශෛලිය’ යන අර්ථයෙන් බන්ද් භාජ් නමින් ද හැඳින්වෙයි. එසේ ම චාන්ටිය මත නිපද වෙන අක්ෂර බහුල ලෙස ඇසුරු කරමින් පද ප්‍රබන්ධ කිරීම මෙම ශෛලිය තුළ දක්නට ලැබෙන ලක්ෂණයක් හෙයින් ‘ගැටියෙහි වාදනය වන ශෛලිය’ යන අර්ථයෙන් මෙය කිනාර් කී භාජ් යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙයි.
පේශ්කාර්, කායදා, රේලා, කෙටි මුඛඩා හා ටුකඩා ආදිය මෙම ශෛලිය තුළ අධික ව වාදනය වන මුත් පරන් වැනි ප්‍රබල නාදයක් ධ්වනිත කෙරෙන පද එතරම් භාවිතයේ නොමැත. දිල්ලි ශෛලියේ භාවිතා වන බොහෝවක් පද චතුරශ්‍ර ජාතියෙන් ප්‍රබන්ධ වෙයි. ධතිධගින, ධගිධිනගින, තිනකින, ධාතිධග, ගිනධග වැනි අක්ෂර සංයෝජනයන් දිල්ලි ශෛලියෙහි අනන්‍යතාව පෙන්නුම් කරයි. ඛ්‍යාල් ගායනා හා ශෘංගාර රස දනවන ගායනා සඳහා මෙම ශෛලියෙන් සහාය වාදනය කිරීමේ දී උචිත බවක් දැක්වූව ද, කථක් නර්තනයන් සඳහා සහාය වාදනය කිරීමේ දී උචිත බවක් නො පෙන්වයි.